ශ්වේදගොන් නිවහන යැන්ගොන්

ඈත පෙරදිග හෝ ගිණිකොන දිග ආසියාවේ සරන සැරියෙකුට හෝ ගමන් කතා, විත්ති කතා ලියන්නෙකුට සුන්දර යැන්ගොනය මග හැරෙන්නට ඉඩක් නොමැත. වර්ථමානයේ මියන්මාරය හෙවත් බුරුම දේශය සිය අගනුවර ඉන් බැහැර ගෙන ගොස් ඇතත් මේ සුන්දර පුරය සියවස් කිහිපයක මතක හා බ්‍රිතාන්‍ය යටත් විජිත සමරු සටහන්ද රැක ගනිමින් එරට වාණිජ නගරය සේ වැජඹෙන්නේ ය. ගිණිකොන දිග ආසියාව කෙරෙහි ව්‍යාප්ත වෙමින් පවත්නා දැවැන්ත චීන මූල්‍ය ආධිපත්‍ය යැන්ගොනයටද දැනෙමින් පැවතියදී එය වඩාත් ක්‍රමවත් හා සීඝ්‍රයෙන් නාගරිකකරණය වෙමින් පවත්නා කලාපයක් ලෙස දිස් වේ. අප මුලින් අදහස් කොටගෙන සිටියේ මණ්ඩලේ නුවර සිට කිලෝමීටර් අටසියයකට ආසන්න දුර අධිවේගී මාර්ගයක් ඔස්සේ ගමන් කොට යැන්ගොනය කරා පිවිසෙන්නට යි. එය එසේ සිදු වූයේ නම් පිටිසරබද මියන්මාරයේ චමත්කාරජනක වටපිටාව හා සංස්කෘතිය අත්දැකීමේ මහාර්ඝ අවස්ථාව හිමිවන්නට තිබුණද පැය දහයක පමණ වෙහෙසකර ගමනක් වන හෙයින් පියාසැරියකට සූදානම් වන්නට සිදු විය.

දේශීය ගුවන් සේවාවට අයත් කුඩා ගුවන් යානයකින් පැයකුත් මිනිත්තු විස්සක් තිස්සේ පියෑඹීමෙන් අනතුරුව අපට පය තබන්නට ලැබුණු භූමිය 1989ට පෙරාතුව රැන්ගුනය යනුවෙන් හඳුන්වන ලදුව අද යැන්ගුනය ලෙස හැඳින්වේ. බලයට පත් මිලිටරි ජුන්ටාව දහසක් ජීවිතද අහිමි කරමින් බුරුම දේශය මියන්මාරය ලෙස හඳුන්වන්නට ගත් වහාම මේ නුවර නමද වෙනස්ව ලියැවුණු බව කියැවේ. ඒ හා සමග නගරය අසළින් ගලන දැවැන්ත රැන්ගුන් ගංගාවද යැන්ගොන් ගංගාව ලෙස යළි නාමකරණය විය. මෙනුවර බිහිව ඇත්තේම ගඟබඩ නගරයක් ලෙස වන හෙයින් ඉතා වැදගත් ආර්ථික ප්‍රවාහයක් වන ගංගාව හ්ලායින්ග් නදිය ලෙසද හැඳින්වේ. එය මයිත්මාකා සහ පේගු නදීන් හි දෙමෝදර වනුයේ සැතපුම් හතළිහක් මග ගෙවීමෙන් අනතුරුව අන්දමන් මුහුද සිප ගන්නේ ය. අද වනවිට ත්වන්තේ කැනලය මගින් ආසියාවේ සහල් නැළිය ලෙස හඳුන්වන ඉරවඩි ඩෙල්ටාව හා යැන්ගොන් නදිය සම්මුඛ වේ. වර්ග කිලෝමීටර 3000 ක වපසරිය තුළ තේක්ක වගාවන් සහ පසුව වී ගොවිතැන සඳහා හෙළිපෙහෙලි කළ කඩොලාන පද්ධතියක් ඩෙල්ටාවේ මේ කලාපයේ අඩංගුව විය. ආකාසයේ බොහෝ ඉහළ සිට කුරුළු ඇසක බැල්මට හසුවන මේ නදිය ලංකාවේදී අප දැක ඇති ඕනෑම ගංගාවකට වඩා බොහෝ සෙයින් විශාල වනුයේ සුවිසල් සමුද්‍ර යාත්‍රාවනට යැන්ගොන් නගරය වෙත යාත්‍රා කිරීමේ පහසුව සළසන්නේය. ගුවනේදී, කිරි කහට පැහැ ගත් මේ නදියද එහි යාත්‍රා කරන විසල් ගොඩනැගිලි තරමේ නෞකාද දැක මම විස්මයට පත් වීමි. අනාගතයේ කිසියම් දිනයෙක මේ නදිය හා කිලෝමීටර් 35ක් දිග ත්වන්තේ කැනලය ඔස්සේ ඉරවඩි වෙතද යාත්‍රා කිරීමේ නාවුක සිහිනය උපදවා ගත්තෙමි.

අගනුවරක අතීතය

ලංකාවේ මෙන්ම බුරුමයේද රාජධානි කාලික සංක්‍රමනයක් පෙන්වා ඇත්තේ රජුනගේ අවැසිතා නිසා සහ ආක්‍රමණාදියට මුහුණ දීම පිණිස ය. 1755 දී පහළ මියන්මාරය අභිබැවීමෙන් අනතුරුව එවක කුඩා නගරයක්ව පැවති දාගොන්, රැන්ගොනය ලෙස නම් කළේ අලෞන්ග්පායා රජු ය. සමකාලීනව මහා ගංගාව හේතුවෙන්  සමුද්‍ර පිවිසුම් තොටුපලක් ලෙස වැඩුනු නගරය යුරෝපීයයන් බුරුම දේශයට ආශක්ත වීමේ හේතුවක් විය. දෙදහස් වසරක ඉපැරණි උරුමය දරාගත් නගරය කලින් කල විවිධ තත්ත්වයන් යටතේ බුරුමයේ අගනගරය බවට පත් වූයේ ඒ සඳහා වන සුදුසුකම් සහිත වූ නිසා ය. යැන්ගොනයේ ඉතිහාස බන්ධූත්වය දරන්නේ මහා ශ්වේදගොන් දාගැබයි. කිතු යුගයෙන් වසර පන්සියයකට ඉහත අසිතාන්ජන හෝ ඔක්කාල යනුවෙන් හැඳින් වූ භූමිය  පාරිශුද්ධත්වයට පත්ව අද යුනෙස්කෝවේ ලෝක උරුමයක්ව පවතින්නේ ලොව පුරා බොදුනන්ගේ  අතිමහත් ගෞරවාදරයට භාජනය වන්නේ ය. පුරාවෘත්තයනට අනුව ඔක්කාල පුරයේ සිට විදෙස් වෙළඳ චාරිකාවේ නියුක්ත වූ තපස්සු හා භල්ලුක වෙළඳ දෙබෑවුන් නිසා මේ පුද බිම උපන්නේ ය. සිරිලක ගිරිහඬු සෑයේ පුරාවතද තපස්සු භල්ලුක නිසාම උපදින්නේ මේ මියන්මාර ඉතිහාසය බුදුන් සිරිලක පහළ වූහයි තමන්ම පරසක්වළ ගැසෙන්නට තතනන පිරිස කෝප ගැන්වීමට නොඑසේනම් ශෝකයෙන් මැඩීමට හේතු වන්නේ ය. උතුම් බෝධි මූලයේ සමවත් සුවයෙන් වැඩ සිටි ගෝතමයානන් වහන්සේ ස්වකීය වෙළඳ ගමන අතරතුර අහම්බෙන් මුණ ගැසී පැහැදි සිත් උපදවා ගත් දෙවෙළෙන්දෝ මුල් බොදු උපාසකයෝ බවට පත් වූහ. මියන්මාර බොදුනුවන්ට අනුව ඔවුන් සතු ව තිබූ පැණි පායාසයකින් බුදුන් පුදා වන්දනාව පිණිස යමක් ඉල්වූහ. බුදුන් වහන්සේ උපාසකාරාධනාව මැදහත්ව පිළිගෙන තමන් වහන්සේගේ සිරස පිරිමැද කේශ ධාතූන් අටක් සුරතින් ගෙන උපාසකයනට පිරි නමා ඇත. උන් දෙපළ යළි ඔක්කාල පුරය වෙත පැමිණෙන අතරතුරය ලංකාවේ ගිරිහඬු සෑය ඉදිකරන්නට ඇත්තේ.   මියන්මාර ඉතිහාස ප්‍රවාදයනට අනුව, තමන් සතු වූ කේශ ධාතු ද්විත්වය බැගින් නාග රජු සහ තවත් රජෙකු විසින් පැහැර ගනු ලදුව උපාසකයෝ පැමිණ ඉතිරි වූ අනර්ඝ වස්තුව ඕකලප රජු වෙත පිරිනමා ඇත. මහත් උත්සව ශ්‍රීයෙන් යුක්තව ධාතූන් වහන්සේලා පිළිගත් රජු දේවරාජ ශක්‍ර ගේ උපකාරය ඇතිව තැනූ සෑයෙහි බුද්ධ ධාතු නිධන් කරවූහ. ඒ නිධානය මත තැනවූ ස්වර්ණමය දාගැබ අද ශ්වේදගොන් නමින් ප්‍රකටව යැන්ගොනයේ සිව් දිසාවට කංචන ආලෝකය විසුරුවන්නේ ය.  පසුව යැන්ගොනය මහා නගරයක්ව වැඩීමේ නිමිත්ත වනුයේද මේ දාගැබම වන්නේ ය. කලින්කල රජ  පැමිණි රජුන් ස්වකීය අභිමතය පරිදි දාගැබ විසල්ව හා රමණීයව ප්‍රතිසංස්කරණය කරන්නේය. 1453 දී රාජ්‍යත්වය දිනූ ෂින්සාව්බු රාජිනිය සිය බරට සමානව රත්‍රන් ගෙන දාගැබ ආලේප කළාය. මේ රාජිනිය අවසන් ගමන් යන්නේද ඈතින් දිසෙන ස්වර්ණාලේපිත දාගැබ දෙස නෙත් හෙලාගෙන බව බුරුම ඉතිහාසයේ දැක්වේ. පසුව රජ පැමිණි ධම්මසේති රජුද තමන්ගේ සහ මෙහෙසියගේ බරට සමානව සිව්වරක් දාගැබෙහි රන් ආලේප කළ බව කියැවේ. වර්ථමානයේ ලෝ ප්‍රකට ශ්වේදගොන් දාගැබෙහි උස අඩි 326 කි. එහි මළුවේ එක් පසෙක දිග අඩි 1420 කි. ශ්වේදගොන් දාගැබ වටා සිව් කොණ ප්‍රධාන දාගැබ් හතරක් ඇතිව පිහිටුවා ලූ පරිවාර සෑ රදුන් හැට හතරකි. මේ සෑයේ ස්වර්ණමය මුදුනත දියමන්තියකි. මාර්කෝ පෝලෝ හෝ සින්බෑද් සිය විස්ම චාරිකාවලදී දුටු දෑ මෙන් ඔබ විස්මවන එහි හැඩය පද්මාකාර, ඝන්ඨාකාර සහ මධ්‍යය පාත්‍රයක ස්වරූපයද වන්නේ යැයි සිතමි. යැන්ගොනය ඉහළ නැංවූ මේ අසිරිමත් සෑ රදුන් දක්නට සඳ මෝරන සන්ධ්‍යාවක යන්නට ඇති නම් ඒ ඔබේ වාසනාව යැයි සිතමි.

නූතන නුවරක සිරි

කාරුණික ටින් සහ ඇගේ හිතවතුන් නිසාම අපගේ පුර සංචරණය පහසු හා විනෝදකාමී විය. බොහෝ නගරවල මෙන්ම සුරපුර හා නිරයද එක්ව පිහිටීම යැන්ගොනයටද අදාල බව අප හා පැවසුවේ නගරයට පැයක දුරින් පිහිටි කම්හලක ඉංජිනේරුවා ලෙස සේවය කරන තනූජ අසංක ය. මා හා බණ්ඩාරවෙල මැදි විදුහලේ එක්ව උගත් හෙතෙම අප නගරයෙන් නික්මෙන්නට නියමිත දිනට පෙර රැයෙහි පැමිණ සුප්‍රකට මියන්මාර් මෝල් හී මධු පාන සංග්‍රහයකට ආරාධනා කළේය. එය ගිනිකොණ දිග ආසියාව ගමන් කරමින් සිටින දිශාව විදහා දක්වන තැනකැයි සිතමි. දෙස් විදෙස් මධු පැන්, ජෑස් සංගීතය හා රූබර ළඳුන්ගේ ඇස් බැල්මෙන් ගිනි කණ වැටෙමින් ද අවැසි නම් ඔවුන්ගේ ඇසුර වෙනුවෙන් චැට් ලක්ෂයක් හෙවත් ඩොලර් අසූවක් පමණ වියදම් කරමින්ද රෑ මැදියම තෙක් ගැවසිය හැකි එවැනි තැන් බොහෝ ගණනකි. සියයට අනූවකට එහා බොදුනු ජනකායක් වෙසෙන මෙරට ඒ සඳහා අලිඛිත නිදහසක් හිමිකර දී ඇති සේය.

යැන්ගොනය යනු ඉහළ මධ්‍යම පංතියේ හා ධනවත් ජනයාගේ බිමයි. ඈත ප්‍රාන්තවල වෙසෙන දිළිඳු නූගත් ජනයා රැකියා සොයා ගෙන පැමිණෙන්නේද මේ නගරයටයි. ඔවුන් එදා වේල මහ මග විකුණන කුමක් හෝ දෙයකින් සරි කරගනිමින් ජීවත්වීම සඳහා දැඩි වෙහෙසක් දරන බව තනූජ පැවසුවේය. පැවති මිලිටරි ජුන්ටාවට ජනයා අධ්‍යාපනයෙන් පොහොසතුන් කිරීමේ වුවමනාවක් නොවූ හෙයින් එරට උපාධිධාරීන්ද සාපේක්ෂව අඩු අධ්‍යාපන මට්ටමක පසුවන බව ඔහු පැවසුවේය. ඇතැම් අවස්ථාවක ලංකාවේ මෙන්ම විදුලි විසන්ධි වීම් පැවතියද නගරය විදුලියෙන් පෝෂිතය. එහෙත් ගම්බද මියන්මාර ජනයාට විදුලිය අහිමි තැන් බොහෝ බව දැනගන්නට ලැබුණි. මණ්ඩලේහිදී මෙන්ම යැන්ගොනයේදීද අපහට හිසරදයක් වූයේ වාහන, මාර්ගයේ දකුණෙන් ධාවනය වීමයි. ඇතැම් තැනක රථවාහන තදබදය පැවතියද එහි රියැදුරන් තිරිංගවලට වඩා නළාව භාවිතා කරන ලංකාවේ රියදුරන්ට ආදර්ශයකි. ඔවුන් රියේ නළාව ඔබාගෙන මරහඬ තළන්නන් නොවේ. මේ නගරය ත්‍රිරෝද රථවලට තහනම් කලාපයක් වන හෙයින් ඒවා දක්නට ලැබුණේ නැත. ටැක්සියක් වුවමනා නම් ඔබට ලැබෙන්නේ ජපන් කාරයකි. ඉන්ධන මිළ මෙන්ම ප්‍රවාහන ගාස්තුවද ලංකාවට වඩා තරමක් අඩු ය. යැන්ගොනයේ දක්නට ලැබෙන අගනාම දෙයක් වන්නේ අඩු දෘශ්‍ය දූෂණයයි. දැවැන්ත බිල් බෝර්ඩ් බෙහෙවින් අඩු අතර පෝස්ටර් සහ බැනර දක්නට ලැබෙන්නේම නැති තරම් ය. තනූජ පැවසූ අන්දමට ඒ ටියුෂන් මාෆියාවක් නැති නිසාය.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *