ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු පහත දමවු – දෙමව්පිය ඉල්ලීම්

ජනප්‍රිය පාසැල් වල හය වන ශ්‍රේනියට සිසුන් ඇතුළත් කර ගැනීමේ ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු අසාමාන්‍යය ලෙස ඉහළ දැමීමෙන් තම දරුවන් තුළ වූ ජනප්‍රිය පාසැලකට ඇතුළු වීමේ සිහිනය බොඳව ගොස් තිබෙන ශිෂ්‍යත්ව සමත් දරුවන්ගේ දෙමව්පිය එකමුතුවේ මහනුවර කැඳවුම්කරු දුමින්ද ප්‍රසන්න මහතා පවසයි.

මහනුවර ජොර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ඊයේ (25) පස්වරුවේ විරෝධතාවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ගේ මහනුවර දිස්ත්‍රික් දෙමපිය එකමුතුව මගින් සංවිධානය කළ මෙම විරෝධාවට දෙමව්පියන් 100 ක පමණ පිරිසක් සහභාගි වී සිටියහ.

පැවතුණු කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අභියෝග රැසක් මැද හරිහැටි පාසැල් පවා නොයමින් තම දරුවන් මහත් පරිශ්‍රමයක් දරා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගෙන සමත් වූයේ ජනප්‍රිය පාසැලකට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් බවත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩා බිඳ දැමීම යුක්ති සහගත නොවන බවත් හෙතෙම පැවසුවේය.

අතර මැද පංති වලට දේශපාලන හා වෙනත් හිතවත්කම් මගින් අසීමිත ලෙස දරුවන් ඇතුළත් කිරීම නිසා ශිෂ්‍යත්ව විභාගය සමත්වන ග්‍රාමීය අඩු පහසුකම් සහිත පාසැල් වල දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් මෙවර එම තත්ත්වය බරපතල වී තිබෙන බවත් ප්‍රසන්න මහතා කීය.

ධනය හා වෙනත් ඉහළ සම්බන්ධතා නොමැති ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175 කට වඩා වැඩියෙන් ලබාගත් දරුවෙකුට ජනප්‍රිය පැසැලකට ඇතුළු වීම සඳහා ශිෂ්‍යත්ව විභාගය හැර වෙනත් විකල්පයක් නොමැති බවද හෙතෙම අවධාරණය කළේය.

ජනපති හා අගමැති තුමන්ලාගේ අවධානය මෙම ගැටලුව සම්බන්ධව කඩිනමින් යොමුවිය යුතුව තිබෙන බවද ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *