සංචරණ නීතිවලට අමතරව ස්වයං විනයක්ද අවශ්‍යයයි

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

2019 නොවැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් මතු වූ නව කොරෝනා නොහොත් කොවිඩ්-19 වෛරසය මේ වන විට වසර එක හමාරකට වැඩි කාලයක් තිස්සේ මුළු ලෝකයටම, සමස්ත මානව වර්ගයාටම වදදෙමින් සිටින්නේය. දුප්පත්-පොහොසත් භේදයකින් තොරව, ජාති, ආගම්, කුල භේදයකින් තොරව, මුළු ලෝකය පුරා හැම කෙනෙකුට ම එකසේ වද දෙමින් සිටින්නේය. දියුණු-නොදියුණු භේදයකින් තොරව ලෝකයේ හැම රටකට ම පාහේ එකසේ වද දෙමින් සිටින්නේය. පියවි ඇසට නොපෙනෙන, නැනෝ මීටර් 125ක තරම් වූ විෂ්කම්භයක් ඇති ඉතා කුඩා ක්ෂුද්‍ර අංශුවක් මුළු ලෝකයම, මුළු මානව සංහතියම ගිලගෙන ඇත්තේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, නව කොරෝනා වෛරසය දරුණු ගෝලීය වසංගතයක් බවට පත්වී ඇත්තේය. මෙම ලිපිය ලියන මොහොත වන විට, ලෝ පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන කෝටි 17කට කිට්ටු වී තිඛෙන අතර, මියගිය ගණන කෝටි තුන හමාරකට ආසන්න වී ඇත්තේය. පළමු අදියරේදී, යම්තාක් දුරකට සාර්ථක ලෙස පාලනය කරන ලද සමහර රටවල පවා, දෙවෙනි තුන්වැනි රැළි වශයෙන් කොරෝනා වසංගතය යළි යළිත් හිස ඔසවන්නට පටන් ගෙන ඇත්තේය. ඇතැම් විශේෂඥයන්ගේ ඇගයීම්වලට අනුව, පසුගිය වසර සියයක පමණ කාලයක් තුළ මානව වර්ගයා මුහුණ දුන් දරුණුතම වසංගතය මෙය වන්නේය. Sri Lanka reopens all isolated villages suspected of being COVID-19  clusters, Sri Lanka News | wionews.com

ශ්‍රී ලංකාවේ ද, පසුගිය වසරේ මාර්තු මාසයේ ප්‍රථම වතාවට කොරෝනා ආසාදිතයෙකු හමු වූ අතර, දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් වෛරසයේ ව්‍යාප්තිය මර්ධනය කිරීමට අපට හැකි විය. සති ගණනක් රට පුරා පනවා තිබුණු ඇඳිරි නීතිය ඉවත් කොට, 2020 අප්‍රේල් අග භාගයේ සිට රට ක්‍රමයෙන් විවෘත කරනු ලැබීය. අනතුරුව, රටේ ජන ජීවිතය ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වන්නට පටන් ගත්තද, 2020 ඔක්තෝබර් 4 වැනි දින මිනුවන්ගොඩ ඇඟලූම් කර්මාන්තශාලාවක සේවය කරන කාන්තාවකට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් පසුව තත්ත්වය යළි වෙනස් වූයේය. වඩාත් නිශ්චිතව කියතොත්, ඉන් අනතුරුව කොරෝනා වසංගතයේ දෙවෙනි රැල්ල ඉතා වේගයෙන් පැතිරුණේය. දෙවෙනි රැල්ල ද තරමක් දුරට පාලනය කරගැනීමට අපට හැකි වූ අතර, 2021 ජනවාරියේ සිට කොවිඩ්-19ට එරෙහි එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ වූයේය.

කෙසේ වුවද, මෙවර සිංහල-දමිළ අලූත් අවුරුද්ද සමරනු ලැබුවේ කොරෝනා තර්ජනය සම්පූර්ණයෙන් පහව නොගිය වාතාවරණයක් යටතේය. ජනතාව අලූත් අවුරුදු සමයේදී සෞබ්‍ය උපදෙස් නිසියාකාරව නොපිළිපැද්දොත් තුන්වැනි කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කල්තියා අනතුරු ඇඟවූයේය. අලූත් අවුරුදු සමයේදී ජනතාව සියයට සියයක් පාලනය කිරීම අපහසු බැවින්, සංචරණ සීමාකොට සෞබ්‍ය උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කල්තියා ඉල්ලා සිටියේය. අලූත් අවුරුදු චාරිත්‍ර නිවසේ සිට ම ඉටුකරන ලෙසටත්, අවට නිවෙස් සමඟ කැවිලි-පෙවිලි හුවමාරු කරගැනීම සහ නෑගම් යාම නොකළයුතු බවටත් නිර්දේශ කරමින් මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කරනු ලැබීය. රට පුරා බොහෝ දෙනෙක් එම සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අලූත් අවුරුද්ද සැමරුවද, තවත් සුළු පිරිසකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනතුරු ඇඟවීම් බීරි අලින්ට වීණා වැයීමක් බඳු වූයේය. සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකටවත් ගණන් නොගත් ඇතැම් උදවිය අලූත් අවුරුදු සමයේදී හිතුමතේ රටපුරා සංචාරය කළහ. ශාරීරික දුරස්ථභාවය රකින්නේ නැතිව, මුඛ ආවරණ පළඳින්නේ නැතිව රටපුරා සංචාරය කළහ. බණ්ඩාරවෙල, ඇල්ල, නුවරඑළිය, මාතර පොල්හේන වැනි ප්‍රදේශවල හෝටල් දේශීය සංචාරකයින්ගෙන් පිරී ඉතිරී ගියේය.

මෙම අනාරක්ෂිත හැසිරීම් රටාවල ප්‍රතිඵලයක් ලෙස, සිංහල-දමිළ අලූත් අවුරුද්දෙන් පසුව මතු වූ කොරෝනා තුන්වැනි රැල්ල ඉතා දරුණු ලෙස පැතිර ගියේය. මෙම ලිපිය ලියන මොහොත වන විට, ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 170,000 ඉක්මවා තිඛෙන අතර, මියගිය ගණන 1300ට කිට්ටු වී ඇත්තේය. මේ වන විට තරමක අඩුවීමක් දක්නට ලැබුණද, මීට දින කිහිපයකට පෙරාතුව දෛනික ආසාදිතයන්ගේ ගණන 3000 ඉක්මවා ගියේය. මෙහිලා වඩාත් වැදගත් ම දත්තය වන්නේ, රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 30,000ට කිට්ටු වී තිබීමය. මේ වන විට ලාංකේය සෞඛ්‍ය පද්ධතිය සිය උපරිම ධාරිතාවය කරා පිවිසෙමින් සිටින බවට විශේෂඥයන් අනතුරු අඟවන්නේ මෙම පසුබිම තුළය. ලාංකේය සෞඛ්‍ය පද්ධතියේ රතු කට්ට පනින්නට ළඟ බවට විශේෂඥයන් අනතුරු අඟවන්නේ මෙම පසුබිම තුළය. මුළු රටම එක දිගට දින 14ක් ලොක්ඩවුන් කළයුතු බවට වෛද්‍යවරුන් විශාල පිරිසක් පුන පුනා අවධාරණය කර සිටියේ මෙම පසුබිම තුළය. කීර්තිමත් වෛරස විශේෂඥයෙකු වන හොංකොං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා ද, රට එක දිගට දින 14ක් වසාතැබීමේ අවශ්‍යතාවය පසුගියදා පෙන්වා දී තිබුණේය. මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දෙන පරිදි, කොවිඩ්-19 වෛරසයේ බීජෞෂණ කාලය දින 5-6ක් පමණ වන අතර, රෝග ලක්ෂණ පෙන්වීමට සහ පවුලේ කිට්ටුම අයට බෝවීමට තවත් දින 5-6ක් පමණ ගතවිය හැකිය. දින 14ක හුදෙකලා කිරීමක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. කොරෝනා ආසාදිතවීමට ඉඩ ඇතැයි සැක කෙරෙනා උදවියද දින 14ක කාලයක් නිරෝධායනයට ලක්කෙරෙන්නේ ද ඒ නිසාය. ඉදිරි දින 14 තීරණාත්මක යැයි අපට නිතර අසන්නට ලැඛෙන්නේ ද ඒ නිසාය. Asia Today: Sri Lanka confirms 321 cases in factory cluster

මේ අනුව, වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිගත් රජය, පසුගිය මැයි 21 දින සිට මැයි 31 දක්වා පනවා තිබුණු සංචරණ සීමා ලබන ජූනි 7 දක්වා දීර්ඝ කරනු ලැබුවේය. එහෙත්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සපයා ගැනීම සඳහා අතරින් පතර සංචරණ සීමා ලිහිල් කිරීමට ද රජය තීරණය කරනු ලැබුවේය. එයාකාරයට, පසුගිය මැයි 21 දින පනවනු ලැබූ සංචරණ සීමා මැයි 25 වැනි අඟහරුවාදා ලිහිල් කෙරුණු අතර, එදින ඇතැම් උදවිය හැසිරුණු ආකාරය කිසිසේත්ම සතුටුදායක නොවන්නේය. මැයි 25 වැනි දින උදෑසන සිට ම බොහෝ නගරවල විශාල පිරිසක් එක්රොක් වී සිටි අතර, භාණ්ඩ මිලදී ගැනීමේදී ශාරීරික දුරස්ථභාවය පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බවක් පෙනෙන්නට තිබුණේය. නිවසකින් එක් අයෙකුට පමණක් ළඟම පිහිටි වෙළඳසැලට පා ගමනින් ගොස් භාණ්ඩ මිලදී ගනීමට අවසරය ඇති බවට රජය නිවේදනය කර තිබුණද, ජනතාව පෞද්ගලික වාහනවලින් පැමිණ සුපිරි වෙළඳසැල්වල මෙන්ම සෙසු වෙළඳසැල්වල ද පෝලිම් ගැසී භාණ්ඩ මිලදී ගනු දක්නට ලැබුණේය. මේ නිසාම, බොහෝ නගරවල වාහන තදබදයක් දක්නට ලැබුණේය. වෙනකක් තබා, ව්‍යාජ ලෙස වෛද්‍ය ලාංඡන මෝටර් රථවල ප්‍රදර්ශනය කරමින් සංචරණ සීමා ලිහිල් කිරීම අවභාවිත කළ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වන්නේය. සංචරණ සීමා ලිහිල් කෙරුණු මැයි 25 වැනි දින බොහෝ දෙනෙකු හැසිරුණු ආකාරය සතුටුදායක නොවන බැවින්, ඉදිරියේදී වෙළඳසැල් විවෘත කරනු වෙනුවට ජංගම රථ යොදා අත්‍යවශ්‍ය භාණ්ඩ ඛෙදාහැරීමේ වැඩපිළිවෙලකට යොමුවීමට සිදුවන බව, කොරෝනා මර්ධන කාර්යය සාධක බලකායේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේය. ජනතාවගේ මෙවැනි අයහපත් හැසිරීම් නිසා කොවිඩ් වෛරසයේ පැතිරීම තවත් වේගවත් විය හැකි බව යුද හමුදාපතිවරයා අවධාරණය කරන්නේය.

මේ අනුව බලනා විට, නව කොරෝනා වසංගතය මේ වන විට වසර එක හමාරකට වැඩි කාලයක් තිස්සේ ලෝකය පීඩාවට පත්කොට තිබුණද, අපේ ඇතැම් උදවිය එහි භයංකරභාවය තවමත් හරිහැටි තේරුම් ගෙන නැති බව පැහැදිලි වන්නේය. පසුගිය වසරේ පළමු කොවිඩ් රැල්ල හමුවේ, ඉතාලි වෛද්‍යවරයෙකු විසින් කොරෝනා වසංගතයේ ඇති භයානකකම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරන ලද අතර, ඉන් කියැවුණේ, ඔබ කොවිඩ්-19 වෛරසයේ භයංකර බව හරිහැටි තේරුම් ගතහොත් අඩුම තරමින් ජනේලයෙන් හෝ හිස එළියට නොදමන බවයි. සැබැවින්ම, සෞඛ්‍ය බලධාරීන් කෙතරම් පුන පුනා කීවද, ඇතැම් උදවිය තේරුම් නොගන්නා සරළ සත්‍යයයක් ඇත්තේය. එනම්, අප නිවසින් එළියට ගොස්, නගරයට හෝ සමාජයට ගොස්, කොවිඩ්-19 වෛරසය කැඳවාගෙන පැමිණියේ නැතිනම් වෛරසය බලාත්කාරයෙන් අපේ නිවසට ඇතුළු නොවන බවයි. ඒ සඳහා වඩාත් සුදුසු  පිළියම වන්නේ, හැකිතාක් නිවසට වී අතේ දුරින් සිටීමයි. අපේ ගැමි බසින් කියතොත්, “අහක යන නයි රෙද්ද අස්සේ දා නොගැනීමට” අප වගබලාගත යුතුය.

එසේ නොමැතිව, තවදුරටත් වෛරසය පැතිරීමට අප දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සහාය දුනහොත් අපේ රෝහල්වලට දැරිය හැකි උපරිම ධාරිතාව ඉක්මවා යෑමට ඉඩ ඇත්තේය. යටකී පරිදි, අපේ සෞඛ්‍ය පද්ධතියේ රතු කට්ට පනින්නට ඉඩ ඇත්තේය. එවිට අපේ වෛද්‍යවරුන්ට, හෙදියන්ට, අනෙකුත් කාර්ය මණ්ඩලයට තත්ත්වය පාලනය කරගැනීම අසීරු වනු ඇත්තේය. එසේ වුවහොත්, වැඩි දිනක් ගතවීමට මත්තෙන් අපේ රටද, මේ වන විට ඉන්දියාවේ පවතින තත්ත්වයට පත්වීමට ඉඩ ඇත්තේය. එසේ වුවහොත්, බොහෝ විශේෂඥයින් පෙන්වා දෙන පරිදි, අපට කොරෝනාවෙන් බේරී සැඟවීමට තැනක් සොයාගැනීමට නොහැකි වනු ඇත්තේය. මෙය හුදෙක් අසුභවාදී, අඳුරු චිත්‍රයක් මවාපාමින් කරනා බොරු බියගැන්වීමක් නොව, ඇතිවිය හැකි භයානක තත්ත්වය පිළිබඳව කෙරෙන පූර්ව අනතුරු ඇඟවීමක් පමණක් ම වන්නේය.

වර්තමාන වසංගත තත්ත්වය යටතේ රජය විසින් පනවනු ලබන සංචරණ සීමාවලට අමතරව, අප එකිනෙකා විසින් එක්තරා ආකාරයක ස්වයං විනයක් ද පවත්වා ගතයුතු යැයි අප අවධාරණය කරන්නේ ඒ නිසාය. “ස්වයං විනය” සහ “ස්වයං පාලනය” යන සංකල්ප අන්‍යෝන්‍ය වශයෙන් යොදාගනු ලබන අතර, ඉන් අදහස් කෙරෙන්නේ තමන්ට තමන්ව පාලනය කරගැනීමට ඇති හැකියාවයි. ඒ සඳහා ඇති ශක්තියයි. මෙම වසංගත තත්ත්වය හමුවේ, සෞඛ්‍ය උපදෙස්වලට ගැලපෙන ස්වයං නීතිරීති මාලාවක් පවත්වාගෙන යාම ඉතා වැදගත් වන්නේය. මේ අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අප විසින් අකුරටම පළිපැදිය යුතු වන්නේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. කොරෝනා ආසාධිතයෙකු බවට පත්වීමෙන් වැලකීම සඳහා හැකි උපරිම උත්සාහයක් දැරිය යුත්තේ අපේම යහපතට බව තේරුම් ගත යුතුය. මේ අවස්ථාවේදී, ස්වයං පාලනයක්, ස්වයං විනයක් අවශ්‍ය වන්නේ යැයි අපේම යහපතට බව තේරුම් ගත යුතුය.

මෙවන් වසංගතයක් හමුවේ, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ විනයානුකූල හැසිරීම අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ද අප තේරුම් ගත යුතුය. නීතියට ගරුකරන සහ විනයානුකූලව හැසිරෙන සිවිල් පුරවැසියන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගිය නොහැකි බව අප තේරුම් ගත යුතුය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුර දේවතාවුන් යැයි කියාගන්නා සමහර රටවල ජනතාව, කොරෝනා වසංගතය මැඩලීම උදෙසා විවිධ අවස්ථාවන්හිදී පනවනු ලැබූ සංචරණ සීමාවන්ට එරෙහිව වීදි බසින ලද ආකාරය අතිශය කනගාටුදායක වන්නේය. තවත් පැත්තකින්, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳව ඔවුන් තුළ පවත්නා පටු ආකල්ප මේ හරහා මොනවට පැහැදිලි වන්නේය. යුදමය වාතාවරණයකට සමාන වන මෙබඳු වසංගත තත්ත්වයන් හමුවේ විවිධ සීමාවන් පැනවීමට බලධාරීන්ට සිදුවන අතර, ඒවාට අනුගතවීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, ස්වයං විනයක් සහිත ජනතාවගේ යුතුකමක් වන්නේය.

කෙසේ වුවද, කොවිඩ්-19 වෛරසය පැතිරීම මේතාක් දුරකට හෝ පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් සමත්ව සිටින්නේ බහුතර ජනතාවගෙන් ලැඛෙන සහයෝගය නිසාය. එහෙත් කනගාටුවට හේතු වන්නේ, ඉහත කී පරිදි, කොරෝනා වසංගතයේ ඇති භයානකකම සුළු පිරිසකට තවමත් හරිහැටි අවබෝධ වී නොතිබීමය. නැතිනම්, වත්මන් තත්ත්වයේ බැරෑරුම්කම පිළිගැනීමට සූදානමක් නොමැතිවීමය. කනගාටුවට හේතු වන්නේ, ඉහත කී පරිදි, සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවන්හිදී සමහර උදවිය වගකීම් විරහිත ලෙස හැසිරීමය. සමහර උදවිය ලැබුණු අවස්ථාවෙන් විනෝදයක් ලබාගැනීමට (ෆන් එකක් ගැනීමට) උත්සාහ කිරීමය. රජය විසින් පනවා ඇති සංචරණ සීමාවලට අමතරව අප විසින් ම එක්තරා ආකාරයක ස්වයං විනයක්, ස්වයං පාලනයක් පවත්වා ගතයුතු යැයි අප අවධාරණය කරන්නේ ඒ නිසාය. එහෙත්, ස්වයං විනයකට අනුගතවීමට, ස්වයං පාලනයකට යටත්වීමට අප තුළ ශක්තියක් තිබිය යුතුය. කැපවීමක් තිබිය යුතුය. කොරෝනා වසංගතයෙන් තවදුරටත් බැට නොකා බේරීමට නම් අප සැවොම ඒ සඳහා කැපවිය යුතුමය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *