සකුරා සුවඳ මුසු වූ ගාන්ධර්ව යාමය

දයිසුකේ හයිෂිගේ කැමරාව රිද්මයානුකූල අභිනයන් සහ ගාන්ධර්වයන්ගේ ගැඹූරු ඉංගිත සටහන් කර ගනිමින් තිබුණා. මහා නර්තන ශිල්පී පීටර් සූරසේනයන්ගේ නිවසේ මතු මහලෙහි සරසවි ඇසුරට වෙන් වූ පීටර් සූරසේන එළිමහන් රඟමඩලේ නර්තන අවකාශය සරසවි වරමින් ආශිර්වාද ලබා තිබියදී උත්තම නර්තනයෙහි සම්පූජිත උරුමක්කාර පරපුරක වෘද්ධ ශිල්පීන් රිද්මයෙහි ආවේශ ව සිටියා.

සකුරා දේශයේ උපන් මේ සේයා කලාකරුවා පෙරදිග කලාවනට පෙම් බැඳියෙක්. ඔහු ලංකාවට ආවේ ලක් කලාවේ මාහැඟි සළකුණක් වූ උඩරට නර්තය පිළබඳ අංශු මාත්‍රික කියවීමකින් ලද උද්දාමය ඇතිව. දයිසුකේගේ සෙවණැල්ලව පියඹ අකී හයෂීත් ඔහු හා ලංකාවට ආවා. ඇය යෝගී ශිල්පිනියක් සහ භාරතයේ කේරළ පළාතේ පුහුණුව ලද ආයුර්වේද වෛද්‍ය ශිල්පිනියක්. එදා ඒ රාත්‍රිය දැල් වූ විලක්කු එළියෙන් ජීවය ලද මහා නර්තන ශිල්පීන්ගේ ඉරියව් මේ ජපන් යුවලගේ හෘද ස්ඵන්දන තීව්රතාව වේගවත් කරමින් එකම ලය මානයක බෙර හඬත් හද හඬත් සමපාත කළා.

කොහොඹා කංකාරියෙන් උපන් නර්තනය

පීටර් සූරසේන සහ දැනට සිටින වයස්ගතම ශිල්පියා හපුගොඩ ගුරුන්නාන්සේ

උඩරට නර්තන උත්පත්තිය පිළිබඳ පුරා කතා කිහිපයක් තිබෙනවා. ඇතමෙකුට අනුව මේ නැටුමෙහි සැඟව තිබෙන්නේ, යුධ සරඹ. අපරදිග ආක්‍රමන සමයෙහි සටන් ශිල්පී පරම්පරාවල සම්බන්ධයක් මේ නැටුම් සමඟ ඇති ය කියන්නට ඉඟියක් ඉන් ලැබෙනවා. එහෙත්, පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ මතය සිය උරුමය මලය රජුගෙන් ලද වරයක් බවයි. විජයගේ කෲරත්වයේ ස්ත්‍රී ගොදුර වූ කුවණ්ණාගේ ශාපය දිවි දොසව බලපෑවේ අනුප්‍රාප්තික රජු පඬුවස්දෙව්ට. මලය රජු සිරිලක ආවේ ඒ දිවිදොස දුරු කිරීම උදෙසා කොහොඹා කංකාරිය නැටීමට. පඩුවස්දෙව් රජුගේ දිවිදොස දූරිංභූත කළ මේ මහා ශාන්තිකර්මය ඉනික්බිත්තේ පැවරෙන්නේ වරම් ලද්දවුන් සමූහයකට. ඒ දිවිදොස්ගලදී. එදා පටන් දිවිදොස්ගල උරුමක්කාරයින් වූ ඔවුන් තවත් නර්තනාංග රැසක් සහ වාද්‍ය ශිල්පයද, රංගාභරණ ආයිත්තම් සහ වාද්‍ය භාණ්ඩද සමග මහා කලාවක් සුරක්ෂා කිරීමේ කර්ත්‍යවය තමන් වෙත පවරා ගත්තා. අදත් පාරම්පරික උඩරට නර්තන ශිල්පීන් තමන්ට ජානගතව ඇති නැටුම් කලාව දිව්‍යමය දායාදයක් ලෙස සළකා බුහුමන් සහිතව කරළියට පා තබනවා. ඔවුන්ගේ කරළියේ උඩ මලුව උතුම් දළඳා පෙරහැර. ඉන් පැහැදිලි වෙන්නේ මේ නර්තනය සහ දළඳා වහන්සේ අතර පවත්නා අවියෝජනීය සම්බන්ධය.  ඒ මූලය උඩරට නැටුම පිළිබඳ ගවේෂණය කරන විද්‍යාර්ථියෙකුට වුණත් වැදගත්.

“ඇත්තටම උඩරට නැටුම අපි දකින්නේ උතුම් දිව්‍යමය පූජාවක් හැටියට. අපි දළඳා හාමුදුරුවො නමස්කාර කළේ ඒ පූජාවෙන්” උඩරට නැටුමෙහි ප්‍රවීනයෙකු වන සුසන්ත සුරසේන පාරම්පරික ශිල්පියෙක් වගේම දෙස් විදෙස් රංග භුමිවල ශිල්ප දැක්වූ අයෙක්. ඔහුට අනුව සුද්දන්ගේ කාලයේදී උඩරට නැටුම හඳුන්වනු ලැබුවේ යක් නැටුම යන අරුතැති ඩෙවිල් ඩාන්ස් නමින්. “සුද්දො මේකට ඩෙවිල් ඩාන්ස් කිව්වා. සමහරවිට ඒ මේ නැටුමේ තියෙන ශාන්තිකර්ම ලකුණු නිසා වෙන්නට ඇති. ඒ කාලේ විතරක් නෙවෙයි අදත් උඩරට නැටුමේ අංග සුවපත් කිරීමේ කලාවත් එක්ක බැඳිලා තියෙනවා. බලි යාග වගේ ශාන්තිකර්ම පවා උඩරට නැටුම් කලාවට අයිති විධිමත්ව හැදෑරිය යුතු අංග. පාරම්පරික ශිල්පීන් පවා ගුරු ඇසුර ඇතිව විධිමත්ව පුහුණු වුණ අය. බොහෝ වෙලාවට පරම්පරා උරුමයෙන් ශිල්පය ගලාගෙන ආවා. මට මේ ශිල්පය ලැබුණේ අප්පච්චි පීටර් සූරසේනගෙන් වගේ.” සුසන්ත ස්වකීය උරුමය ගැන එහෙම පැහැදිලි කරනවා.

උඩරට නර්තන කලාවටම අනන්‍ය වූ රංග වස්ත්‍ර ආයිත්තම් ඇත.

හැබැයි අද අපි මේ කලාවට උඩරට නැටුම කිව්වට ඒ ශිල්පය උඩරටට විතරක් සීමා වෙලා තිබු‍ණේ නැහැ. සුරඹා වගේ පරම්පරා නමක් අනුරාධපුර, පොළොන්නරුව වගේ පුරාණ රාජධානි තිබුණු පළාතක දකින්න නොලැබුණත් රාජධානි සංක්‍රමණයේදී මේ ශිල්පය ළයට තුරුළු කරගත්ත ශිල්පියොත් රට වටේ යන්න ඇති.

“ආක්‍රමණ එක්ක රාජධානිය සංක්‍රමණය වෙද්දි මේ ශිල්පියොත් ඒ ගමන යන්න ඇති. ඊටත් වඩා දළඳා වහන්සේ තැනින් තැනට වැඩම කරද්දි ඔවුන්ට උන්වහන්සේ එක්ක ගමන් කරන්න සිද්ධ වෙන්න ඇති. මොකද නැටුමේ භාරදූරම කාරියක් දළඳා වහන්සේ වෙනුවෙන් නැටීම. ඉතිං දළඳා වහන්සේ වැඩ හිටපු තැන් එක්ක පාහලා ගවේෂණයක් කරනවානම් මේ පරම්පරාවල මුල් හොයාගන්න පුලුවන් කමක් තියෙයි.” ශිල්පී සුසන්ත සූරසේන එහෙම කියන්නේ තමන්ගේ මතය ගැන.  කොහොම වුණත් අන්තිමේදී රටේ නොයෙක් පළාත්වල විසිරිලා හිටපු ශිල්පියෝ අන්තිමට තමන් සතුව තිබ්බ පුස්කොළ පොත්පත්, නර්තන ආයිත්තම් වගේම වාද්‍ය භාණ්ඩත් එක්ක මහනුවර රාජධානියට ඇවිත් පදිංචි වුණා. නැත්නම් රාජකීය ආඥාවට අනුව ඔවුන්ට එහෙම කරන්න සිද්ධ වුණා. “අන්තිමට මේ මහා යක්දෙස්සො හැමෝටම රක්ෂාවරණය තිබ්බෙ මහනුවර. ඒ එක්කම නැටුම් කලාවෙ මහගෙදර වුණෙත් මහනුවර. ඒ වෙනකොට සිලෝන් ඩාන්ස් කියලත් කියපු නැටුමට සුද්දො කැන්ඩියන් ඩාන්ස් කියල කිව්වෙ ඊටපස්සෙ” ඒ සුසන්ත සූරසේනගේ පැහැදිලි කිරීම.

විදෙස් ඇස් පිනවූ වගයි

හයිෂී යුවල කලාකරුවන් සමග

අපරදිගින් සුදු හම ඇත්තවුන් ලංකාවට එන්න යන්න පටන් ගත්තට පස්සෙ උඩරට නැටුම ලෝක ප්‍රසිද්ධ වුණා. නිත්තවෙල ගුණයා, තිත්තපජ්ජල සුරඹා, පීටර් සූරසේන වගේ මහ ඇදුරො දේශදේශාන්තරවල ශිල්ප දැක්වූවා. ඔවුන්ට විදෙස් රාජකීයයන්ගේ මාලිගාවලත් නටන්න ඉඩ ලැබූණා. මේ කොදෙව්ව මැද්දෑවේ ඉතිරිවෙලා තිබුණු කලාවක් ගැන පිටරැටියො පොත්පත්වල ලිව්වා. ඒව දැකපු කියවපු පිටරැටියො සිය දහස් ගාණක් උඩරට නැටුම් බලන්නම ලංකාවට ආවා.  ඒ ඒ නැටුමට ආවේණික බෙරහඬට ශිල්පියො නැටුවෙ ආවේශ වෙල වගේ. හැම ඉරියව්වකින්ම ඔවුන් මහා කතාවක් සන්නිවේදනය කළා. ඒ විචිත්‍ර රංග වස්ත්‍ර, ආයිත්තම්වලින් පවා කියැවුණු යමක් තිබුණා. ඒ හැමදෙයක්ම වශීකාරක නිසයි ජපානයෙන් ආ දයිසුකේ හයෙෂී හා අකී හයෙෂී  උඩරට නැටුමට පෙම් බඳින්න හිතුවේ. උඩරට නැටුම ගැන පරිපූර්ණ ප්‍රේමාන්විත සිතුවිලි නිසාම ඔවුන් දෙපළ හත්අට වතාවක් ලංකාවට ආවා.  ඒ වෙනකොට ඔවුන් උඩරට නර්තන කලාව සොයා යෑමට තීරණය කරල තිබුණා. දයිසුකේ සහ අකීට සිය සැරියෙදී දෙටු නර්තන ශිල්පී පීටර් සූරසේන මුණ ගැසුණේ අනපේක්ෂිතව වුණත් ඒ හමුව උත්කෘෂ්ඨ කටයුත්තක මූලය වුණා.  ඒ වෙද්දි නැටුමත් එක්ක වෘද්ධව සිටි සූරසේන මහා කලාකරුවා ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙක් හින්දාම දයිසුකේගෙ යෝජනාව ඉතිසිතින් භාර ගත්තා. ඒ අනුව සූරසේනයන්ගේ නිවසේ මතුමහල පීටර් සූරසේන එළිමහන් රංගාවකාශය බවට පත් වුණා.

ගාන්ධර්ව යාමයෙන් දිවිදොස්ගලට 

දයිසුකේ, අකී, පීටර් තුන් කට්ටුව තීන්දු කළේ උඩරට නර්තනයේ නෘත්‍ය, වාද්‍ය උරුමක්කාර මහ පරම්පරා සියල්ලට කරළියේ ඉඩ පිළිගැන්වීම. ඔවුන් සෑම මසකම එක් දිනක ගාන්ධර්ව යාමය නමින් නර්තන පෙළහර  පෑමට පුරාණ පරම්පරාවල ශිල්පීන්ට ආරාධනා කළා. හැම පරපුරකම වෘද්ධයෝ බාලයොත් එක්ක තමන් ආරක්ෂා කරගනිමින් උන්න පරම්පරා උරුමයේ ශිල්ප ඒ කරළියේ විදහා දැක්වූවා. සමහර දෙටු ශිල්පීන් ඒ වෙද්දි නැටුමෙන් ඉසිඹු ලබා සිටියත් ගාන්ධර්ව යාමය තමන්ගේ කරගැනීමට ලද ඉඩෙන් ප්‍රයෝජන ගත්තා. දයිසුකේලා ඒ හැම මොහොතකම පුරාතන චාරිත්‍රවලට අනුව ඒ ශිල්පීන් ඇගයීමට අමතක කළේ නෑ. “නිත්තවෙල, තිත්තපජ්ජල, අමුනුගම, හපුගොඩ, ලැහැඹ, පිලවල, රත්තොට, එරමුදුගොල්ල, යකාවෙල, තල්ගහගොඩ, ඉහළවෙල, වේගිරිය, මාලගම්මන, යකාවෙල, උඩුවෙල, මොලගොඩ, මාමුඩාවිල, අත්තරගම, පලීපාන, මුද්දනාව” කියන හැම නර්තන පරම්පරාවකම ශිල්පියෝ ගාන්ධර්ව යාමයේ ඇගයීමට හා උපහාරයට ලක් වුණා.  මේ සියලු ශිල්පී පරම්පරාවන් දළඳා පෙරහැරේ නටපු උදවිය. ඇත්තටම ඔවුන්ගේ උත්තම කාර්යය වුණෙත් පෙරහැර නර්තනය. එහෙව් පරම්පරාවල ඡායාරූපයක් හරි ජාතියට දායාද කරන්න ගාන්ධර්ව යාමයට පුලුවන් වුණා.  අවුරුද්දක් තිස්සේ ගාන්ධර්ව යාමය නමින් මේ බුහුමන පීටර් සූරසේන එළිමහන් රංගාවකාශය ශෝභාවත් කළා.

අන්තිමේදී, ගාන්ධර්ව යාමය අවුරුද්දක මහා වෑයම නිමාව එළඹෙන්නේ “දිවිදොස්ගල උරුමක්කාරයෝ” මැයෙන් සම්පාදිත කෘතියක්ද ජනගත වෙමින්.  නුවර පත්තර කලාවේදී අසේල කුරුලුවංශ ලියූ ඒ පොතේ පෙළ ගැහෙන්නේ පෙර කී නර්තන කලා පරපුරවල උත්කෘශ්ඨත්වයට පැමිණි දෙටු ශිල්පීන්ගේ වතගොත. මෙවැන්නක් මින් පෙර සම්පාදනය වී තිබුණේ නෑ.  ඒ නිසාම මේ කෘතිය ලංකාවට උරුම මහා කලාවක් සම්බන්ධයෙන් පැවති හිස්තැනක් පිරවීමක්ද වෙනවා.  උඩරට නැටුම ගැන අධ්‍යනය කරන විද්‍යාර්ථීන්ට හෝ නර්තන ගුරුවරුන්ටත් එය හස්තසාර ග්‍රන්ථයක් වීම නිරනුමානයි. ඔක්තොම්බර් 17 වැනිදා ශ්‍රී දළඳා මාලිගාවෙදී නිලංග දෑල බණ්ඩාර දියවඩන නිළමේවරයාගේ ඇරයුමෙන් ගාන්ධර්ව යාමයේ බුහුමනට ලක් වූ හෙළ කලාකරුවන්ට පිදීමෙන් අනතුරුව  “දිවිදොස්ගල උරුමක්කාරයෝ”  ජනගත වෙනවා. ඒ මොහොතේ එතැන ඉන්නට බැරිවුණත්  “දයිසුකේ හයිෂිගේ සහ  අකී හයෂී” සකුරාවන් දෙන්නත් එ් බුහුමනෙන් සතුටු වනු ඇති.

 

ලසන්ත ද සිල්වා  

අනිද්දා පුවත්පත ඇසුරෙනි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *