සත පහකට වැඩක් නැති ශක්‍යතා අධ්‍යයන එක්ක මධ්‍යම අධිවේගයේ හොරා කෑ හැටි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය. මෙම මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනයට පමණක්  රු.බිලියන 1.7 කට වැඩි මුදලක් වැය වී ඇති බව මෙහිදී තහවුුරු විය

මේඅතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා පළමු කොටසේ වැඩ කටයුතු ආරම්භ වීම 2015 සිට 2019 දක්වා ප්‍රමාද වීම නිසා රුපියල් බිලියන 08ක මූල්‍ය අලාභයක් සිදුවී ඇති බවද මෙහිදී අනාවරණය විය.

මෙහිදී පළමු ශක්‍යතා අධ්‍යනය සඳහා SMEC සමාගම තෝරා ගැනීම  ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදුව ඇති බව අනාවරණය විය. තවද 2012 දි උතුරු අධීවෙිගි මාර්ගය ලෙස  පියවර 03ක්  යටතේ පැවති ව්‍යාපෘතිය 2015 වර්ෂය වන විට මධ්‍යම අධිවෙිගී මාර්ගය ලෙස පියවර 04 ක් යටතේ වෙනස්ව තීබේ.

මේ අනුව එඩේරමුල්ල සිට මීරිගම දක්වා ඉදිකරීමට තිබූ මාර්ගය කඩවත සිට ඉදිකිිරිමට තිරණය කොට ඇති අතර, එම තීරණය නිසා තවත් ශක්‍යතා අධ්‍යයන කිහිපයක් විශාල මුදලක් වැය කොට සිදු කර ඇත. වසර 2015 දී කිසිදු හෝ විද්වත් මත විමසීමකින් තොරව කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව මෙහිදි අනාවරණය විය.

මෙලෙස මුල් ව්‍යාපෘතිය වෙනස්වීම නිසා සිදුවූ මූල්‍ය අලාභය පිළිබඳ වාර්තාවක් වහාම ලබා දෙන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයයේ ලේකම්වරයාට  නියෝග කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව  මෙසේ ඊයේ( 20 )  රැස්වූ අතර අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ,රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල්   පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්  වන, එරාන් වික්‍රමරත්න, ජගත් පුෂ්පකුමාර, ප්‍රේම්නාත් සී. දොලවත්ත,රන්ජන් රාමනායක,ඩී.වී චානක  යන මහත්වරු  සහභාගී වුහ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ  කඩවත සිට මීරිගම දක්වා කොටස උතුරු අධිවෙිගී මාර්ගය නමින් පැවති ව්‍යාපෘතියේ පොතුහැර සිට හෑදෙනිය කොටස ඉදිකිරීම සඳහා තෝරාගෙන තිබූ MCC නම් චීන සමාගමට ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව  ලබා දීමට 2015 දී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මෙහිදි හෙළි විය.

මේ සඳහා රුපියල් බිලියන 159 ක මුදලක් වැය වන අතර මෙම තිරණය ආර්ථීක කළමනාකරණය පිළිබඳ කැබිනට් කමිටුව (CCEM) මගින් ගෙන ඇති බවත් ගෙවීමි පිළිබඳ ගැටලුවක් නිසා වසර 04 ක කාළයක් තුළ මෙහි ඉදිකිරීම් ප්‍රමාද වී 2019 අගභාගයේදි වැඩ කටයුතු ආරම්භ කළ බවද වැඩිදුරටත් අනාවරණය විය. තවද මෙම ප්‍රමාදය නිසා බිලියන 8කට ආසන්න අලාභයක්ද සිදුව ඇති බවද හෙලිවිය.

එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ  ‍තෙවැනි කොටස වන පොතුහැර – ගල‍ගෙදර කොටසේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිතා නිසා තවමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන්ව නොමැති බව මෙහිදි අනාවරණය විය.ටෙන්ඩර් පටිපාටිය අනුව MS Taisei නම් සමාගමට මෙම ටෙන්ඩරය හිමිවිය යුතුව තිබුනද Fujita නම් සමාගමට මෙම ලබා දෙන ලෙස  CCEM කමිටුව මගින් බලපෑම්කර ඇති බවත් එමගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වී ඇති බවටද කරුණු අනාවරනය විය.

කෝප් කමිටු සභාපතිවරයා මෙහිදි පෙන්වා දුන්නේ CCEM වැනි කමිටු තිබීමේ වරදක් නොමැති වුවද බිලියන ගනනක ප්‍රසම්පාදන කටයුතු වලට සම්බන්ධ වන විට එය රටේ මූල්‍ය විනයට සුවිශාල බලපෑමක් සිදු කොට ඇති බවයි. CCEM කමිටුව ඇතැම් අවස්ථාවලදි ලිඛිතවද බලපෑම් කොට ඇති බවට සාක්ෂි ඇති බැවින් නිරීක්ෂණය හා සහය දීම සදහා වන කමිටු මෙලෙස එවැනි ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑම් කිරීම විශාල ගැටලුවක් බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් මෙම අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියටම අනුකූලව සිදු කිරීමේ වැදගත්ම මෙහිදි සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදි.

තවද  මධ්‍යම අධිවේගි මාර්ගයේ වර්තමාන තත්ත්වය කෝප් සභාපතිවරයා විමසු  අතර මෙහිදී අනාවරණය වූයේ කඩවත මීරිගම කොටසේ වැඩකටයුතු 5%ක ප්‍රමාණයක් පමණක් අවසන් වි ඇති බවත් මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන කොටසේ වැඩකටයුතු 75%ක් අවසන්ව ඇති බවයි.දේශිය කොන්ත්‍රාත්කරුවන් යොදා දේශිය බැංකු මගින් ණය ලබාගෙන මෙම කොටසේ ඉදිකිරීම් සිදුකර ඇති බවත් ලබන වසරේ ජූනි මාසය වන විට ඉදිකිරීම් අවසන් කළ හැකි බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා මෙහිදී පැවසීය.

මේ අතර පොතුහැර සිට ගල‍ගෙදර කොටසේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය  නැවතත් ආරම්භ වී ඇති බැවින් එහි වැඩකටයුතු ලබන වසරේ ආරම්භ කළ හැකිබව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙහිදි මධ්‍යම අධීවේගී මාර්ගයේ පළමු, තෙවන හා සිව්වන කොටස්වල ප්‍රගතිය පිළිබඳ තත්ව වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව නිර්දේශ ඉදිරිපත් කළේය.

තවද 2012 වර්ෂයට පෙර මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවන්  සඳහා රුපියල් මිලියන 284 අ‍ාසන්න මුදලක් වැයවී ඇති බව අනාවරණය විය. මෙම ඇතැම් ශක්‍යතා අධ්‍යයන වාර්තාවන් වර්තමාන අධිවේගී මාර්ගය සඳහා කිසිදු ප්‍රයෝජනයක් නොවීම පිළිබඳව කණගාටුව පළ කළ සභාපතිවරයා ඉදිරි සියලු  මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය සඳහා වන සියලු  ශක්‍යතා අධ්‍යයනයන් ව්‍යාපෘතියේ සාර්ථකත්වයට කුමන බලපෑමක් සිදු කර තිබේද යන්න වාර්තා කරන ලෙසද කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට  නියෝග කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *