සප්ත ස්වරයට පෙම් බැන්ද, ගලගෙදර දේව්දාස්

හුදෙකලාවම තනිකමට අසළ හිඳින්නේ ය. සිය මියුරු පරිකල්පනය විෂයයෙහි උපන් උත්තුංග වියමන් ප්‍රාණ සමව සුරකිමින් හේ අතීතය මෙනෙහි කරන්නේ සංගීතය හා ප්‍රේමය එකම මගෙක පිය මැන තමන් කැටුව ආ අන්දම දකින්නේ ය. නිසඟ දිව්‍යමය ප්‍රතිභානය මිසෙක සප්ත ස්වර රැඟුම් හදාරන්නට කිසිම දිනෙක තත්පරයක හෝ අවස්ථාවක් නොලද වියපත් මුසල්මානුවා සිංහලයන්ගේ රස භාව පුබුදුවන්නට ගෙතූ චාරුලේඛන අල්ලාහ්ගේ කරුණාව සේ දකියි.

“සංගීතය. ඒක හරිම පුදුමාකාර තෑග්ගක්. දෙවියන්ගෙ කැමැත්ත තමයි. මං දන්නෙ නැහැ කොහොම පුලුවන් වුණාද කියලා. කවදාවත් මට සංගීතය ඉගෙන ගන්න ලැබිලා නැහැ. මං හොඳටම ඉගෙන ගත්තෙ ඉංග්‍රීසි. පස්සෙ මං වැලිමඩ ගුරුතලාව ඉස්කෝලෙ සංගීතය උගන්වමින් හිටියා. ඒ කාලෙ තමයි යාළුවෙකුගෙ වෙඩින් ඇල්බම් එකේ එයාගෙ පිංතූරයක් දැකලා ඒ ලස්සනෙන් මං උමතු වුණේ. මම ඒ පින්තූරය ඉල්ලගෙන පොකට් එකේ දා ගත්තා. ඊට පස්සෙ සැරින් සැරේ පින්තූරය බලද්දි තමයි  ඒ ලස්සන සිංදුවේ පද දෙමළෙන් මුමුණන්න පුළුවන් වුණේ”   

“පරෙන්දු වෝඩුම්.. නිනෙයිවිල් කණ්ඩෙයි… පාවෛ උන්නෛ අඩී… ඒ වදන් මිහිරි තනුවක් නිමවද්දී ඔහු එය හදවතේ ලියාගත්තේ දෙමළ අකුරෙනි. සුදු කරදාසියක සිය නිර්මල ආදර ගීතයේ තනුව ස්වර සටහනක් ලෙස ලියන්නට  දැන නොසිටියත් පසු කලෙක සංගීතවේදී ටී. එෆ්. ලතීෆ්ගේ වාද්‍ය වෘන්දයට එය වයන්නට මග පෙන්වීමේ භාග්‍යය ඔහු ලද්දේ ය. එවර සිංහල භාව ගීතයේ සුවිශිෂ්ඨ පබැඳියෙකු වූ ලංකා ගුවන්විදුලියේ කරුණාරත්න අබේසේකරයන් ඔහු මිමිණූ තනුවට පද එකතු කළේය. සිය හඬ පෞරුෂයෙන් ඒ පද ගැයුවේ එච්. ආර්. ජෝතිපාල, සිරිලක රාෆි ය. “දකින දසුනේ… දෙනෙත ඇඳුණේ…. සොඳුරු ඔබෙ රුව වේ….. සවන රැඳුණේ පවනෙ ඇසුණේ ඔබගෙ කටහඬ වේ…” අප දේව්දාස් මිහිරි දෙමළෙන් දුටු ඇය සිංහල ගී රසිකයා මිහිරි සිංහලෙන් දුටුවේ ය. සිංහල සිනමා සංගීතයෙහි නොමැකෙන සටහනක් තැබූ ගලගෙදර එම්. එම්. ඒ හක් මාස්ටර් ඒ ගැයුමෙන් නව මාවතක පියවර මනින්නට පටන් ගත්තේ ය. 

ඔහු උගත්තේ යාපනය සෙන්ට් ජෝන්ස් කොලීජියෙනි. අනතුරුව ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ හෙතෙම පලාලි හි ගුරු අබෑසි විදුහලෙන් වැඩිදුර ගුරු පුහුණුව ලද්දේය. සිනමා අධ්‍යක්ෂ ජෝ. දේව් ආනන්ද් ද සමකාලීනව යාපනය සෙන්ට් ජෝන්ස් කොලීජියෙහි උගන්වමින් සිටියේ සිසුන් දෙදෙනෙකු හා එක්ව මිලීමීටර් 16 සිනමා කෘතියක් නිර්මාණය කිරීමේ කටයුත්තකද නියැලී හුන්නේ ය. සෙන්ට් ජෝන්ස් කොලීජියේ එක්ව උගත් පැරණි මිතුරෝ දිනක් පලාලි ගුරු විදුහලේදී හක්ට ගීයක් ගයන්නට ඇරයුම් කළෝ ය. ඔහු ගැයුවේ ගුරුතලාවේ උගන්වන සමයේ දුටු සිහින අප්සරාව නිසාම පබැඳි දකින දසුනේ ගීයේ මුල් දෙමළ පද වැලයි. “යාළුවෝ ඇහුවා මචං මොකක්ද මේ ලිරික්ස් තිබ්බ ෆිල්ම් එක කියලා. මං කිව්වා ෆිල්ම් එකක් නෙවෙයි මං තමයි සිංදුව හැදුවෙ කියලා. එතකොට යාළුවො කියනවා අන්න, ජෝ. දේව් ආනන්ද් බයිස්කෝප් එකකට සිංදු හොයනවා ගිහිල්ල මුණ ගැහෙන්න කියලා. එහෙම තමයි මට ජෝ ව හම්බ වුණේ”  සංගීතයට අනන්‍ය බස සප්ත ස්වරම පමණි. එවක හක් සිංහල යම්තමින් හෝ දැන නොසිටියේ හෙයින් සත්සර හැඟුම් ලියා තැබුවේ දෙමළ බසිනි. අවසන සිංහලෙන් වදන් මුහු වුණේද දෙමළ බසින් ලියැවුණු නමුත් තාලය මිස වර්ගයක් නැති ඒ හැඟුම්වලටමය.   

පසුව ජෝ දේව් ආනන්ද් කොළඹ විත් කාර්ගිල්ස් සාප්පුවේ රැකියාවකට බැඳී ඉසිඹු ලත් විටෙක “ගීතා” සිංහල චිත්‍රපටය නිර්මාණය ආරම්භ කළේය. ගී තනු නිර්මාණයෙන් තමන්ගේ ගීතාව සුන්දර කරන්නට හක්ට ඇරයුම් කළ ඔහු කරුණාරත්න අබේසේකර දායකත්වයද ඇතිව දකින දසුනේ ගීය ගීතාට පුද කළේය.

සිංහල සිනමාවට ප්‍රේම ගීතාවලියක්                                                                                                         

කලක් ඇවෑමෙන් සිංහල සිනමා ගී රසිකයින් මුසපත් කළ ගී මුතුහරක් ගොතන්නට හක්ට අවස්ථාව උදා කළ මේ ගීයෙන් සුගැයුණු රුවේ උරුමක්කාරිය පසුව ඔහුගේ ජීවන සහකාරියද වූවාය. එක්දහස් නමසිය හැට තුනේ වසරේ දකුණු මාතොට දී ඔහු ඈ අතිනත ගත් අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ආර්. ජයවර්ධනද සහභාගී වී යැයි හක් උද්දාමයෙන් පැවසුවේය. එහෙත් අවසන ඔහුට පරාජිත දේව්දාස්ගේ භූමිකාව ශේෂ වෙමින් ඇය වෙනතක ගිය නමුත් ඒ පෙම නමින් ගැයුනු ගී අද ද මනමෝහනීයව ඇසෙයි. 

ඔහුට ස්වර ප්‍රස්ථාර ලිවීමේ දැනුමක් නොවූ හෙයින් සිදු වූයේ තනුව තාලයට මිමිණීමයි. ලලර ලාලා ලා ලලරා… ඒ මිමිණුම අසා සිටින ලතීෆ් මාස්ටර් සිය වෘන්දය මෙහෙයවා වයයි. අවැසි තැනට ගිතාරය, සැක්සෆෝනය හෝ වෙනත් සංගීත භාණ්ඩයක නද මුසු කරන්නට ගලගෙදර හක් උපදෙස් දෙයි.

ජෝ දේව් ආනන්ද් ගීතා සිනමා සිත්තමට පසු සුජීවා තිර පිටපත ඇසුරෙන් නව නිෂ්පාදනයක් සඳහා මුල පිරුවේය. ගීතා හී සාර්ථකත්වයට පිටුබලයක් වූ හක් ගේ ගීය නිසාම නව සිනමා සිත්තමටද ගී නිමවන්නට ඔහුට ඇරයුම් කළේය.

“මට පොඩි කාලෙ නංගියෙක් ඉඳලා මැරුණා. අපි දෙන්නට දෙන්නා හරිම ආදරෙයි. පස්සෙ මට ලැබුණු දුවත් නංගි වගේ මට හරිම ආදරෙයි. දුව හැමදාම නින්දෙන් නැගිටින්නෙ  ඩැඩී කියාගෙන. එයා ආස මගෙ පපුව උඩ වැතිරිලා ඉන්න. දවසක් මම ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා කෑම කාලා පත්තරයක් බලමින් ඉන්නවා. වෙලාව හවස දෙක හමාරට විතර ඇති. දුව නිදාගෙන හිටියෙ. හීනයක් දැකලද කොහෙද බයවෙලා ඩැඩී කියාගෙන නැගිට්ටා. මං දුවලා ගිහින් දුව වඩා ගෙන තුරුළු කර ගත්තා. ඔන්න එකපාරම සිංදුවක් ඔලුවට ආවා. නින්ජත්තෙ කොල්ලුම් කාදල්… නීනෙයිවිල් සොල්ලුම් නේරම්… මංජම් ෂෙල්ලුම් පෝද…මනදෛ කොල්ලුම් කාදල්… මේ තනුවෙ වචන මං ඉක්මනට ලියා ගත්තා. දවසකින් දෙකකින් ජෝ ගෙන් පණිවුඩයක් ආවා තනුවක් තියෙනවානම් අරගෙන එන්න කියලා. එයාගෙ චිත්‍රපට පහට සිංදු පහයි. ලකී සෙවන් කියලා හැම එකටම සිංදු හත ගාණෙ. මං තනු ගොඩක් ඇරගෙන යනවා. ඒවා කියන්න කිව්වම කියනවා. ඉතිං ලස්සන තනුව තෝරා ගන්නවා. හැබැයි දුව හින්දා ලියැවුණු තනුව අහපු ගමන් එකපාරම කිව්වා අහන්ඩ දෙයක් නෑ මේක තමයි ඕන කරන තනුව කියලා. වන් ෂොට් ගත්ත ඒ තනුවට සිංහල වචන දැම්මම හැදුනු සිංදුව තමයි චන්දන ඇල්ලෙන් නාලා. සමහරු හිතුවෙ ඒ මෙලඩිය හිංදි කියලා. සිනමාස් සමාගමේ ගුණරත්නම් මහත්තයා කිව්වලු මේක ලංකාවෙ ගහපු එකක් නෙවෙයි කියලා. නෑ නෑ ගලගෙදර හක්ගෙ වැඩක් කිව්වම ජෝති ගෙන්නලා ඇහුවලු ඇත්තද කතාව කියලා. අවුරුදු දාහතක රෙකෝඩ් කඩලා ෆිල්ම් එක එකදිගට මාස තුනහමාරක් දිව්වා. මං පාරෙ යද්දි රසිකයො ඉස්සරහට ඇවිල්ලා කියනවා ඔයාගෙ සිංදුව නිසා චිත්‍රපටිය පහළොස් වතාවක් බැලුවා කියලා. ගොඩාක් ලාභ ගත්තට මේ ටියුන් එක දැම්ම මට රුපියල් පන්සීයක් ගෙවුවා. සුජීවාගෙන් හම්බ කරපු තරමට මටවත් ජෝතිටවත් ගෙවුවෙ නෑ”  ඒ මාහැඟි තනුවල නිමැවුම්කරුවා වූ ඔහුට අතීතය මෙනෙහි කරද්දී අඳුරු අහුමුලු ද හමු වේ. ඇතැම් විට ඒ කර්මාන්තයේ ස්වභාවය යැයි සිතා හිත හදාගන්නට ගලගෙදර හක් මාස්ටර් පුරුදු වී සිටින්නේ අද ගෙවන චාම් හුදෙකලා ජීවිතයෙන් ලද පන්නරය නිසා වන්නට පුලුවන.

ගී මතක මිහිර

“එතකොට මම නාවලපිටියෙ කදිරේෂන් හින්දු විද්‍යාලයේ ඉංග්‍රීසි උගන්වනවා. සිකුරාදා එකොළහ හමාරට මට එළියට එන්න පුලුවන් මුස්ලිම් නිසා. එදා මම එකොළහටම එළියට ඇවිත් පොඩි අඩියක් ගැහුවා. ඊටපස්සෙ ස්ටේෂමට ආවා වයිෆ් බලන්න මාතර යන්න. උඩරට මැණිකෙ කෝච්චිය ආවාම ඒකට නැග්ගා. කෝච්චිය උලපනේ හරියෙන් යද්දි පහු කරන්නෙ ලස්සන කොළ පාට තේ වතු. මට පේනවා කෙල්ලක් වත්තක පහළට පඩි පෙළක දුවගෙන එනවා. ඔන්න ආවා සිංදුවක් තුලිවර තුලිවර තෙන්ඩ්‍රලර චොටදඩී…. ඒකෙන් තමයි හැදුණෙ පැන පැන එන ස‍ඳ පිය ගැට පෙළ දිගේ.. සිංදුව. මම කොළඹට ඇවිත් ජෝ ට දුන්නා ටියුන් එක. ඒ කාලෙ හැටියට ඔය සිංදුව කරද්දි පැන පැන එන්න ස්ටූඩියෝවෙ පඩිපෙළක් හැදුවෙ රුපියල් විසි දාහක් ගෙවලා. ගීතා ෆිල්ම් එකට ගියේ ලක්ෂ තුනයි. සිංදුවට ලොකු ගාණක් ගියා”

දිනක් ඔහු පලාලි හන්දියේ පයින් ඇවිදි යමින් සිටියදී උපන් තනුව ඈත වන පෙත සරසාලා නිල් මදාරා පිබිදීලා ගීය බිහි කළේය. ඒ තනුව උපදින්නේ මිතුරකුගේ අභියෝගයකට පිළිතුරු දීමට වෑයම් කළ නිසා ය. ජෝති සහ ලතා ගයන අතිශය සුමියුරු මන මෝහන සුව සාදන ගීය ද ඔහුගේ මුවින් තනුවක්ව මිමිණෙන්නේ සමකාලයේ ය. “පරමාදර මධු මීවිත තොල් අතරේහි තියා.. පුබුදාලමි සනසාලමි කින්නර දේවී ඔයා.. “  ඒ ගීයෙ එක් පද පෙළක් වන්නේ, රස මියුරූ ගීත තනූ මා ළය වීණාවේ.. දෙසවන පාවෙයි අම පෙම් රස ගංගාවේ යන්නයි.  ඔහුගේ තනුවට පද යෙදූ රචකයා ලියන්නේ හක් ගැනම විය යුතුය.

“හිටින්න පොඩ්ඩක් හිටින්න සිංදුවේදී ස්වර ලාලිත්‍ය  ඕන තැනක ජෝති හරියට කියන්නෙ නැහැ. මං කිව්වා ජෝති ඔහොම බෑ කියලා. කී වතාවක්ද? ෆෑන් එකත් ඕෆ් කරලා දාඩිය ඉවසන්න බෑ. මිනිහගෙ මූණ පොඩ්ඩක් නරක් වුණා. හරි එහෙනම් ඉන්න කියලා ගියා ෆයිව් රෙස්ට් ක්ලබ් එකට. සීයක් දාගෙන ඇවිල්ලා හරියට කිව්වා. තව දවසක් බයිලා චක්‍රවර්තී එම්. එස් සිංදුවක් කියනවා මගේ ටියුන් එක. සිංදුව ආදරණීය බබෝ.. ළඟටම එන්න බබෝ.. එම්. එස් සිංදුව කියන විදියට බය හිතෙනවා. මං ඇහුවා මොකද එම්. එස් මිනිස්සු බය කරන්ඩ හදනවද කියලා. සිංහල සිනමාවේ හා ගී ලොවේ තමන් හා බැඳි මිහිරි මතක මෙනෙහි කරද්දී ඔහුගේ වියපත් දෙනෙත්වල කැළුම් දිලෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ගීය නිර්මාණය කළේද ගලගෙදර එම්. එම්. ඒ හක් මාස්ටර් ය. ඒ අෂ්රොෆ් ඇමතිවරයා පක්ෂයේ නායකත්වය දරන සමය යි. “සිංදුව මුලින්ම කියපු සමුලුවට ප්‍රේමදාස මහත්තයටත් ආරාධනා කරලා තිබ්බා. සිංදුවේ මුල් කොටස විතරයි කිව්වෙ දිගයිනෙ. හැබැයි ටියුන් එක ලස්සන හින්දා නවත්තපු ගමන් එයා කියලා තිබ්බා ආපහු මුලු සිංදුවම කියන්න කියලා. ඉතිං නැවත කිව්වා. තවත් දවසක සිංදුව අහපු ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා අෂ්රොෆ් මහත්තයාට කියලා තිබ්බා අනෙක් පාටිවල සිංදු අහද්දි නින්ද යනවා මේක අහද්දි එහෙම නෑ කියලා. 

දකින දසුනේ ගීයට නිමිත්ත වූ ඇය හැර ගිය පසු වෙනත් විවාහයකට එළඹ ඉන්ද වෙන්ව තනි වූ ගලගෙදර හක් නම් වූ මේ දේව්දාස් අද දිවිසැරිය ගෙවන්නේ අත්‍යන්ත හුදෙකලාවක ගැලී ය. ඒ අවුරුදු බොහෝ ගණනකට පසුවද පරාජිත පෙම්වතාගේ භූමිකාව හා ඈ කෙරෙහි වන අනන්ත ස්නේහයද සමගින් බව වියපත් ඔහු මුමුණයි. සිංහල සිනමා ගීයට රස භාව තනු දායාද කළ සංගීතය නූගත් මේ සංගීතවේදියාට නිසි බුහුමන් ලැබුණේද යන්න විවාදිතය. එහෙත් පීතෘත්ව හිමිකම ඔහුගේ බැව් නොදැන හෝ සිංහල සිනමා සංගීත රසිකයා රස විඳින ගීතාවලිය සදා ජීවමාන වීමට නියමිත නිසා මේ දේව්දාස් පරාජිතයෙක් නොවෙතැයි කීවද මුසාවක් නොවේ.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *