“සල්ලි ඉල්ලන නිසා පුතා මැරුවා” අම්මා පොලීසියට කියයි.

අනියම් සැමියා  සමඟ එක්ව සිය එකම පුතු ඝාතනය කර වල දැමූ මවක තිස්සමහාරාම වීරවිල ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. පුතා මුදල් ඉල්ලා නිතර කරදර කරන බැවින් ඔහු ඝාතනය කිරීමට සැළසුම් කළ බව සැකකාර මව පවසා තිබේ. ලද තොරතුරක් මත පොලීසිය විසින් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු වීරවිල ප්‍රදේශයේ ඉඩමක වල දමා තිබු සිරුර මහේත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය ඉදිරියේදී 04 දින සවස ගොඩගනු ලැබීය.

මෙලෙස ඝාතනය කර වල දමා තිබුනේ අංක 118, කාවන්තිස්සපුර, තිස්සමහාරාම ලිපිනයේ පදිංචිව සිටි 30 හැවිරිදි සුවඳහැන්නදිගේ නුවන් දිනේෂ් නැමති දෙදරු පියෙකි. පසුගිය 26 වන දින සිට සැමියා නිවසට නොපැමිණි බවට මරණකරුගේ බිරිඳ විසින් මැයි 27 වන දින තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු අතර මරණකරුගේ මවද සිය පුතා තමන් සමග තිස්සමහාරාම නගරයට ගිය බවත් පසුව තමන් නැවතත් බස් රථයෙන් නිවසට පැමිණි බවත් මෙතෙක් පුතා නිවසට නොපැමිණි බවත් තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබුණි.

සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කළ තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.ජී.නිමල් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායම මියගිය තරුණයාගේ මව වන 46 හැවිරිදි කාන්තාවක හා ඇයගේ අනියම් සැමියාගේ ඥාති සහෝදරියක 41 හැවිරිදි කාන්තාවක සැක පිට 04වන දින අත්අඩංගුවට ගත්තේය. එහිදී කළ ප්‍රශ්න කිරීමේදී මියගිය තරුණයාගේ මව පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ සිය පුතා නිතර නිතර මුදල් ඉල්ලා කරදර කරන නිසා  වතුර මෝටරයක් මිල දී ගෙන දෙන බව පවසා අනියම් සැමියා සිටි වගා භූමියකට රැගෙන ගොස් ඔහු හා ඔහුගේ ඥාති සොහොයුරියක සමඟ එක්ව හිසට පහර දී සිය පුතු ඝාතනය කර වල දැමු බවයි.

අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනාගේ කරුණු හෙළි කිරීම මත තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය හා හම්බන්තොට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රනිත සෙනෙවිරත්න මහතා ඉදිරියේදී සිරුර ගොඩගනු ලැබිය. සිරුර පිළිබඳ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අනාවරණය වි ඇත්තේ හිස ප්‍රදේශයට මොට ආයුධයකින් එල්ල කළ පහරකින් තරුණයා මියගොස් ඇති බවයි.

සිද්ධියට සැක පිට අත්අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා මේ මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය..

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *