සහන දෙන තුරු මාලිමාවෙන් විරෝධතා

ජනාධිපති ගෝඨාභ⁣ය රාජපක්ෂ බලයට පත් වූ විගස ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරමින් කළේ ජනතාව රැවටීමක් බව පවසන ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නෙ මේ වනවිට ආහාර ද්‍රව්‍ය මිල ගණන් තිබුණ මට්ටමටත් වඩා වැඩිව ඇති බවයි. ඊයේ (20) අනුරාධපුර ප්‍රධාන බස් නැවතුම අසළට එක් වූ එහි ආධාරකරුවන් පිරිසක් රජයට බල කරමින් කියා සිටියේ ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ බඩු මිල වහාම පහත දමන ලෙසයි.

එම අවස්ථාවට එක්වූ ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මහමැතිවරණ අපේක්ෂක වසන්ත සමරසිංහ පැවසුවේ ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකලාපය නිසා ජනයා දැඩි පීඩාවකට ගොදුරුව සිටින බවයි.

“ආණ්ඩුව කිව්වා මේ රටේ ජනතාවට ණය වාරික ගෙවන්න ඕනෙ නෑ, ලයිට් බිල මාස දෙකක සහනයක් දෙනවා, බඩු මිල අඩු කරනවා, තෙල් මිල අඩු කරනවා, සැමන් රුපියල් සියයි, පරිප්පු රුපියල් හැටයි කියලා.

ජාතිය අමතලා කියපු ජනාධිපතිතුමාට දැන් අමතක වෙලා සැමන් 300, පරිප්පු 180 කියලා. සීනි කිලෝ එක රුපියල් 140 යි, වෙළඳපොලේ බොරතෙල් මිල රුපියල් 50ට බැහැලා තිබියදී තවමත් අපේ මිනිස්සු රුපියල් 137 ට තෙල් ගහනවා. ජනතාවට සහන දෙනවා වෙනුවට ආණ්ඩුව, ආන්ඩුවේ සහන මල්ල හදා ගෙන තිබෙනවා. අද අපි ආණ්ඩුවට කියන්න ආවේ, මේ රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි විදියට බඩු මිල ඉහළ ගිහින් තිබෙනවා.

මිනිස්සුන්ගෙ ලක්ෂ ගණනින් රැකියා නැති වෙලා. අනුරාධපුර නගරය අවට වැඩ කරන මිනිස්සුන්ට, අනුරාධපුර හෝටල්වල කඩවල වැඩ කරපු උදවිය පන්දහකගේ රක්ෂා නැති වෙලා තිබෙනවා. ගාමන්ට් වල වැඩ කරපු අනුරාධපුරයේ තරුණ තරුණියන්ගේ රැකියා 4000 පමණ ප්‍රමාණයක් මේ වෙන කොට නැති වෙලා තිබෙනවා.

අද හතර පස් දෙනෙක් වැඩ කරපු කඩ සාප්පුවේ දෙන්නයි, තුන්දෙනයි, වැඩ කරන්නේ. රැකියා අහිමි වීම තාම ආණ්ඩුව ගණන් හදලා නෑ. ඒක නිසා අපි අද ආණ්ඩුවට කියන්න ආවේ අසාධාරණ විදියට බදු ගහලා පසුගිය ජුනි මාසයේ මුල් සතියේ කොරෝනා මර්දනය කරා කියලා බෝඩ් ගහගෙන, ආණ්ඩුව ඒක පිට දාලා ජනතාවගේ කුස්සිය තියන සියලුම භාණ්ඩ වලට බදු ගැහුවා.

හාල්මැස්සො කිලෝවකට රුපියල් දෙසීයක්, සැමන් ටින් එකට රුපියල් අනූ අටක් පෙට්‍රල් ලීටර් එකට රුපියල් අසූ පහක්, සීනි කිලෝ එකකට රුපියල් හැට පහක්, පරිප්පු කිලෝ එකකින් රුපියල් හතළිස් පහක් වශයෙන් මේ ආණ්ඩුව බදු තියෙනවා.

අපි අහනවා මේ බදු ගැහුවෙ, මේ රටෙ ජනතාව කන එකත් එක්ක තිබෙන තරහටද කියලා, බඩ ගින්න නිසා කොරෝනා කාලයේ මිනිස්සු වේල් තුන වෙනුවට එක වේලක් කාලා තමයි ජීවත් වුණේ, ජනතාවගේ බෙල්ල මිරිකලා ජීවත් වෙන්න හදන මේ ආණ්ඩුවට අපි කියනවා, වහාම බඩු මිල අඩු කරන්න කියලා, මේ රැකියා අහිමි වුන, ගොවිතැන් අහිමි වුන, පොහොර ටික දෙනවා කියලා අමාරුවේ දාපු ගොවියන්ට වහාම සහන දීපල්ලා කියලා අපි ආණ්ඩුවට බල කර සිටිනවා.” යැයි පැවසූ වසන්ත සමරසිංහ, සහන ලබා දෙන තුරු ආණ්ඩුවට එරෙහි විරෝධතා දිගටම සිදු කරන බවත් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *