සාධාරණ මැතිවරණයක් සඳහා අලුත් සංශෝධන – මැ.කො සභාපති

නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා බාධාවන දෝෂ හඳුනාගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍යය නීතිමය සංශෝධන කඩිනමින් ගෙන එන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පවසයි.මැතිවරණ දිනයේදී අත්‍යවශ්‍යය සේවා රාජකාරී වල නිරත විශාල පිරිසකට ඡන්දය පාවිචිචි කිරීමට නොලැබෙන බවත් වෛද්‍ය,හෙද,ජනමාධ්‍ය ඇතුළු අංශ ගණනාවක් ඊට ඇතුළත් වන බවත් ඒ මහතා කීය.මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ඊයේ (10) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ඡන්ද දිනයට පෙර ඒ අයට ඡන්දය ලබාදීමට හැකිවන ලෙස ඡන්ද ක්‍රමයට සංශෝධන ගෙනා යුතුව තිබෙන බවත් එම කටයුත්ත මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම පැවසුවේය.මැතිවරණයකදී වැයවන මුදල් ප්‍රමාණය සැලකීමේදී නාස්තිකාර මුදල් විශාල ප්‍රමාණයක් ඒ තුළ අඩංගු වන බවත් එම වියදම් පාලනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත් පුංචිහේවා මහතා කීය.වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට වයස සම්පූර්ණ වූ අවස්ථාවේම ඡන්දය පාවිච්චි කිරිමට අවශ්ථාව ලබාදීම සඳහා වන පනත  පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පමණක් ඉතිරිව තිබෙන බවද ඒ මහතා පැවසුවේය.මැතිවරණ කොමිෂන් සභාව කෙටි කාලීන හා දිගු කාලීන සැළසුම් මත ක්‍රියාත්මක වන බවත් එම ඉලක්ක සපුරා ගැනීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳව අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එතුමා ඊට එකඟතාව පළකාර තිබෙන බවත් කී සභාපතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීම විද්‍යුත් ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කාරනයද එමඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවකාශ සැලසෙන බවද අවධාරණය කළේය.පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය යන ස්ථාවරයේ පසුවන බවත් පළාත් සභා සංකල්පය තිබිය යුතුද නැද්ද යන කාරණය රජයේ ප්‍රතිපත්ති මත තීරණය වන්නක් බවත් ඒ මහතා කීය.දැනට මේ රටේ සියලුම පළාත් සභා ක්‍රියාත්මක වන බවත් මුදල් වෙන්වීම් වගේම අමාත්‍යාංශද පවතින බවත් කී ඒ මහතා දැනට නැත්තේ මහජන නියෝජිතයින් පමණක් යැයිද කීවේය.මහජන නියෝජිතයින් ගෙන් තොරව ආණ්ඩුකාරවරු හා නිලධාරීන් මගින් මහජන නියෝජිතයින් ගෙන් තොරව පළාත් සභාව ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල ගැටලුවක් බවත් මේ නිසා කොමිසම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය ස්ථාවරයේ පසුවන බවත් හෙතෙම කීය.පළාත් සභා අහෝසි කිරීම හෝ නොකිරීම රජය විසින් ව්‍යාවස්ථාවට සංශෝධන ගෙන එමින් කළ යුතුව තිබෙන දෙයක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම කොමිසමට පමණක් තනිව කළ නොහැකි බවත් දේශපාලන පක්ෂ,විධායකය,ව්‍යවස්ථාදායකය,ජනතාව,මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේ සහය මේ සඳහා අවශ්‍යය බවත් පුංචිහේවා මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *