සැඟවුණු ශරීරාරක්‍ෂකයෝ Bodyguards unseen

බොඩිගාඩ්ල තියාගෙන ඉන්නෙ ලොක්කො. බොඩිගාඩ්ලගෙ වගකීම ලොක්කන්ව සතුරන්ගෙන් රැකගැනීම. ඇහැට පේන බොඩිගාඩ්ල ඉන්නෙ ලොක්කන්ට විතරක් වුණාට, ලොක්කො සොක්කො හැමෝටම ඇහැට නොපෙනෙන බොඩිගාඩ්ල ජාතියක් ඉන්නව. අද කතාව ඒ කට්ටිය ගැන…

වෛද්‍ය බී. එම්. සී දසනායකගෙන් සුව හමුව

(මේ දවස්වල තියෙන කොරෝනා ප‍්‍රශ්නෙත් එක්ක, මේ ගැන ටිකක් මතක් කරන එක හොඳයි කියල හිතුණ)
මං මේ කියන බොඩිගාඩ්ල ඉන්නෙ අපේ ඇඟ ඇතුළෙ. ඒ නිසා බාහිරව බලන කෙනෙකුට පේන්නෙ නෑ. හැබැයි, පුද්ගලයෙකුගෙ උපතේ සිට මරණය දක්වාම, අතිශයින් සක‍්‍රියව පවතින සංකීර්ණ ආරක්‍ෂක යාන්ත‍්‍රණයක් තියෙනව, බාහිර හානිකර ජීවවිද්‍යාත්මක (ආසාදන වැනි) සහ රසායනික (විෂ ද්‍රව්‍ය වැනි) තර්ජන වලින් පුද්ගලයා රැක ගන්නට. මේ ආරක්‍ෂක යාන්ත‍්‍රණය නිසා තමයි, ඇත්තටම අපට ජීවිතය පවත්වාගෙන යන්න හැකි වෙලා තියෙන්නෙ.
අපේ ශරීරයෙ ක‍්‍රියාත්මක වෙන ආරක්‍ෂක යාන්ත‍්‍රණයෙ අදියර තුනක් තියෙනව, හරියට ආරක්‍ෂක භට පෙරමුණු (defense lines)තුනක් වාගෙ.
පළමුවෙන්ම, අපේ ශරීරයෙ තියෙන විශාලතම පද්ධතිය වන සම (Skin).

මේ විදියට තමයි අපේ සම හැදිලා තියෙන්නෙ

නිරන්තරයෙන් සම මතුපිට ගැටෙන සහ තැවරෙන ක්‍ෂුද්‍රජීවීන් සහ රසායනික ද්‍රව්‍ය ආදියත් සමග, සමේ මතුපිට තියෙන ‘කෙරටින්’ සහිත අපිචර්මීය සෛල ස්ථර ගැලවී යාම සිදු වෙනව. සමේ තිබෙන රෝමකූප වලිනුත් මෙම ක‍්‍රියාවට යාන්ත‍්‍රික දායකත්වයක් සැපයෙනව. ස්නේහස‍්‍රාවී ග‍්‍රන්ථි සහ ස්වේද ග‍්‍රන්ථි වලින් නිකුත් වන ස‍්‍රාවයන්ගේ ක්‍ෂුද්‍රජීවී නාශක රසායනික තිබෙනව.
ශරීරයේ බාහිර පරිසරයට නිරාවරණය වන සෙසු කොටස් (උදාහරණ ලෙස, ආහාර මාර්ගය, ශ්වසන මාර්ගය, මූත‍්‍ර මාර්ගය වැනි) ආවරණය වෙන්නෙ ශ්ලේෂ්මල පටල වලින්. සමහර ශ්ලේෂ්මල පටලවල මතුපිට සෛලවල පක්‍ෂ්ම (cilia) නමැති පිටතට චලනය වන රෝම වැනි ප‍්‍රසරයන් තියෙනව, බාහිර දේවල් ශරීරය තුළට ඇතුළුවීම වළක්වන්නට. එසේම, ස‍්‍රාවය වන ශ්ලේෂ්මලයේ අඩංගුවන එන්සයිම වැනි රසායනිකයන් නිසාත්, ආම්ලිකතාව නිසාත්, විශේෂිත ප්‍රෝටීනයන් (IgE ප‍්‍රතිදේහ වැනි) නිසාත්,

IgE ප්‍රතිදේහ ගොනුවක්

එම පද්ධතිවල පෘෂ්ඨයේ තැවරෙන හානිකර ක්‍ෂුද්‍රජීවීන් විනාශයට පත්වෙනව. (ඇසේ ග‍්‍රන්ථි වලින් ස‍්‍රාවය වන කඳුළුවලත් මෙවැනි ආරක්‍ෂක රසායනික සංයෝගයන් තියෙනව)
මේ විදිහට නිරෝගීව පවතින සමෙන් සහ ශ්ලේෂ්මල පටලවලින් ක‍්‍රියාත්මක වන පළමු අදියරේ ආරක්‍ෂක වැඩපිළිවෙළ මගින්, හානිකර රෝගකාරක සහ විෂද්‍රව්‍ය වලින් සැලකියයුතු කොටසක් අපේ ශරීරයට ඇතුළුවීමට නොදී මුල් අවස්ථාවේම ඉවත් කර දැමීම සිදු වෙනව.
දෙවන ආරක්‍ෂක මුරකපොල්ල වන්නෙ, යම් ආකාරයකින් සම හෝ ශ්ලේෂ්මල පටලයක් හරහා හානිකර ක්‍ෂුද්‍රජීවීන් හෝ විෂද්‍රව්‍යයක් ශරීරයට ඇතුළු වුණොත් ඇති වෙන ක‍්‍රියාවලිය. රුධිරයේ වෙගේම බොහෝ වෙනත් පටකවල මතුපිටත් ආගන්තුක දේවල් (ක්‍ෂුද්‍රජීවීන් වැනි) දුටු වහාම ඒ වෙත ගොස් ග‍්‍රහණය කොට ගිලගන්නා භක්‍ෂක සෛල වර්ග ගණනාවක් තියෙනව. මොනොසයිට සහ නියුට්‍රොෆිල වැනි සුදු රුධිරාණු සෛලත්, වසා සෛල (lymphocytes)මෙන්ම, මහා භක්‍ෂක සෛල (Macrophages)ලෙස හැඳින්වෙන සෛල ප‍්‍රභේදයත් මේ සඳහා උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. මෙසේ හානිකර ක්‍ෂුද්‍රජීවීන් හෝ රසායනික අණු ගිලගන්නා භක්‍ෂක සෛල එම ගොදුරු වියෝජනය කරගෙන මිය යනව (‘මරාගෙන මැරෙනව) ඒ අතරම, ඉන්ටෆෙරොන් Intefreron වැනි රසායනිකයන් රැසක් ද ක‍්‍රියාත්මක වෙන්නට පටන් ගන්නව, රුධිරය සහ වසා පද්ධතිය තුළ.
මේ ක‍්‍රියාවලියෙ උග‍්‍ර අවස්ථාව වන්නෙ ඉංග‍්‍රීසියෙන් Inflammation ලෙස හැඳින්වෙන ‘ප‍්‍රදාහ’ තත්ත්වය. හානිකර ක්‍ෂුද්‍රජීවීන් හෝ රසායනික අණු ඇතුළු වී තියෙන පටකය ආශ‍්‍රිතව, හෝමෝනමය මැදිහත්වීමක් සහිත උග‍්‍ර ප‍්‍රතික‍්‍රියාමාලාවක් හට ගැනෙනව, උෂ්ණත්වය ඉහළයාම, රුධිරනාළ විස්තාරණය, වසා සෛල ඇතුළු භක්‍ෂක සෛල වර්ග එක්රැස්වීම වැනි දේවල් ද ඇතුළුව. ඉදිමුම, වේදනාව, ශ්ලේෂ්මලය ස‍්‍රාවයවීම වැනි දේත් සිදු වෙනව, අදාළ පටකය අනුව. මේ වෙලාවෙදි, ශරීරයෙ වෙනත් ජෛව ක‍්‍රියාවන් තාවකාලිකව යටපත් කරගනිමින්, මුළු බර යොදා ඇතුළුවී ඇති ආගන්තුකයින් විනාශකර දැමීමට ශරීරය වෙහෙසෙනව. මෙන්න මේ අවස්ථාවෙදි තමයි, ආසාදනයකදි දක්නට ලැබෙන උණ, වේදනාව වැනි රෝග ලක්‍ෂණ හට ගන්නෙ. සමහර වෙලාවට, සිරුරේ විවිධ තැන්වල තියෙන වසා ගැටිතිත් ඉදිමෙනව. එහෙම වෙන්නෙ, වසා තරලය ඔස්සේ රැගෙන එන විෂබීජ රඳවාගෙන, වසා සෛල වැනි භක්‍ෂක සෛල මගින් විනාශ කිරීමේ කටයුත්ත ඒවායෙ සිදු වෙන හින්ද. (හරියට, ‘චෙක් පොයින්ට්’වල රඳවගෙන ප‍්‍රශ්න කරනව වාගෙ) ඒ වගේම, සුදුරුධිරාණු නිපදවීමේ ක‍්‍රියාවලිය වේගවත් වෙලා, රුධිරයේ එම සෛල සාන්ද්‍රණයත් (white cell count) ඉහළ යනව.

රතු රුධිර සෛල අතරෙ සුදු රුධිර සෛලවල රාජකාරිය වෙනස්


ශරීරගතව තියෙන හානිකර ක්‍ෂුද්‍රජීවියාගේ ප‍්‍රබලත්වය, ඇතුළුවී සිටින සංඛ්‍යාව, පුද්ගලයාගේ තියෙන ආරක්‍ෂක යාන්ත‍්‍රණයේ ශක්තිය වැනි දේවල් මත, මෙම ‘ප‍්‍රදාහ’ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ආගන්තුක ජීවියාගේ බලය මුළුමනින්ම බිඳ දමන්නට ශරීරයට පුළුවන් වෙනව. මේ ආරක්‍ෂක පෙරමුණු දෙකම, පොදුවේ  ඕනෑම හානිකර ආගන්තුක ක්‍ෂුද්‍රජීවී ආසාදනයකදි ක‍්‍රියාත්මක වෙනව, විශේෂ වෙනස්කමක් නැතුව.
හැබැයි, ඒ අතරම, තවත් විශේෂිත ආරක්‍ෂක පෙරමුණකුත් ක‍්‍රියාත්මක වෙන්නට පටන් ගන්නව, සාමාන්‍ය ආරක්‍ෂක යාන්ත‍්‍රණයට අතිරේකව (හරියට, විශේෂ පුහුණුවක් ලබා තියෙන බලකායක් වැඩට බහිනව වාගෙ). ඒ තමයි, ප‍්‍රතිශක්තිය (Immunity). ප‍්‍රතිශක්තිය කියන්නෙ, එක් එක් විශේෂිත හානිකර විෂබීජයන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් ක‍්‍රියාත්මක වෙන ආරක්‍ෂක ක‍්‍රියාවලියක්. (උදාහරණයක් විදිහට, ඩෙංගු රෝගකාරක වයිරසය මැඬපැවැත්වීමට, ඩෙංගු වලට එරෙහි ප‍්‍රතිශක්තිය ක‍්‍රියාත්මක වෙනව වාගෙ.)
ප‍්‍රතිශක්තිය ප‍්‍රධාන ආකාර දෙකකින් කි‍්‍රයාත්මක වෙනව, ප්‍රෝටීනමය ‘ප‍්‍රතිදේහ’ මගින් සහ වසා සෛල මගින් ලෙස. මෙහිදී, ප‍්‍රතිශක්තිය ඇතිවීමට හේතුවෙන බාහිරව පැමිණි විෂබීජය ‘ප‍්‍රතිදේහජනකය’ (Antiden)ලෙසත්, ශරීරය මගින් ඊට එරෙහිව ඇති කරගන්නා විශේෂිත ප්‍රෝටීනය ‘ප‍්‍රතිදේහය’ (Antibody) ලෙසත් නම් කෙරෙනව. මෙහෙම හැදෙන ප‍්‍රතිදේහ අදාළ විෂබීජය ග‍්‍රහණය කරගෙන අක‍්‍රිය කරනව. බැක්ටීරියා වැනි සෛලවලින් පිටත සිට ආසාදන ඇති කරන ක්‍ෂුද්‍රජීවීන්ට එරෙහිව මේ ක‍්‍රියාවලිය සිදු වෙන්නෙ රුධිර ප්ලාස්මාවෙදි.
ඒත්, වයිරස වර්ධනය වෙන්නෙ ප‍්‍රධාන වශයෙන්ම සෛල ඇතුළත. මේ නිසා, වයිරස ආසාදනයකදි, භක්‍ෂක සෛල තමයි වඩාත් අවශ්‍ය වන්නෙ. වසා සෛල වල තියෙන ඕ වර්ගයෙ සෛල තමයි මේ ක‍්‍රියාවලියෙදි මැදිහත් වෙන්නෙ. එසේ ඇති වෙන ප‍්‍රතිශක්තියට කියන්නෙ සෛල මධ්‍යගත ප‍්‍රතිශක්තිය කියල. එච්.අයි.වී. ආසාදනය වැනි තත්ත්වයන්හිදී මෙම ඕ වසා සෛල විනාශ වීමෙන් ප‍්‍රතිශක්තිය දුර්වල වෙනව.
එක් එක් රෝගකාරක ක්‍ෂුද්‍රජීවියකුට එරෙහිව ඒවා හඳුනාගෙන විනාශ කළ හැකි ප‍්‍රතිදේහ හෝ වසා සෛල අපේ රුධිරයේ ඇති වෙන ආකාර කිහිපයක් තියනව. සමහර රෝගකාරක වලට එරෙහි ප‍්‍රතිදේහ ලැබෙන්නෙ කෙළින්ම මවගෙ රුධිර ඔස්සේ, කළල අවස්ථාවෙදි. උදාහරණයක් විදිහට, පිටගැස්ම රෝගයට එරෙහිව මවට ලබා දෙන එන්නත මගින් මවගේ රුධිරයේ හටගන්නා ප‍්‍රතිදේහ, කළලබන්ධය හරහා ගැබෙහි සිටින දරුවාගේ රුධිරයට එකතු වෙනව. ඒ නිසා දරුවා බිහි වෙනකොටම, පිටගැස්මට එරෙහි ප‍්‍රතිදේහ දරුවාගේ රුධිරයේ තියෙනව. නවජන්ම පිටගැස්ම රෝගයෙන් දරුවා ආරක්‍ෂා වෙන්නෙ එමගින්.
දරුවකු බිහිවී පළමු පැය 24 ඇතුළතදි ක්‍ෂය රෝගයට එරෙහිව බීසීජී එන්නතත්, ඊළඟට මාස 2 සිට අවස්ථා ගණනාවකදිත් දරුවාට ‘එන්නත්’ ලබා දෙනව. මෙම එන්නත් වලින් සිදුවන්නෙ දරුවාගේ රුධිරයේ අදාළ රෝගකාරක වලට එරෙහිව ප‍්‍රතිශක්තිය (ප‍්‍රතිදේහ) ඇති කරවීමයි. මෙය සිදු වෙන්නෙ, ප‍්‍රතිදේහජනකය ‘හඳුනාගත හැකි’ ස්මරණ සෛල (Memory cells) රුධිරයේ හට ගැනීම මගින්. ස්මරණ සෛල පවතින විට ප‍්‍රතිදේහජනකයක් රුධිරයට එකතු වුණු විගසම, ඒවා හඳුනාගෙන ප‍්‍රතිචාර දක්වනව, ප‍්‍රතිදේහ නිපදවීමෙන්.

මතක සෛල වැඩකරන හැටි


තවමත් එන්නත් හදා නැති ආසාදන විශාල සංඛ්‍යාවකුත් අපට වැළඳෙනව (මේ දවස්වල තියෙන කොරෝනා වාගෙ). එම විෂබීජ ශරීරයට ඇතුළු වුණාමත්, කළින් කිව්වා වගේ ස්මරණ සෛල ඇති වෙනව. නැවත වරක් එම රෝගකාරකය ශරීරගත වුණොත් ස්මරණ සෛල වහා ක‍්‍රියාත්මක වීමෙන්, ප‍්‍රතිදේහ සෑදී ආසාදනය පාලනය කෙරෙනව.
සමහර ආසාදන වලදි, මේ විදිහට ශරීරිය විසින්ම ප‍්‍රතිදේහ හදා ගන්නා තුරු බලා සිටින්නට බැරි වෙනව. උදාහරණයක් ලෙස, දඩාවතේ යන සුනඛයකු විසින් දරුණු ලෙස සපාකනු ලැබීම වැනි, ජලභීතිකාව පිළිබඳව ප‍්‍රබල සැකයක් සැහිත අවස්ථාවකදි. මෙහෙම වෙලාවකදි, කෙළින්ම අදාළ රෝගයට එරෙහි ප‍්‍රතිදේහය (රුධිර මස්තු) ශරීරගත කරනු ලබනව, වහාම ක‍්‍රියාත්මකවී රෝගකාරක විෂබීජ මර්දනය කිරීම සඳහා.

සමහර පුද්ගල කණ්ඩායම් සහ ජන කොට්ඨාශ වල සමහර රෝග වලට එරෙහිව සහජයෙන්ම පවතින ප‍්‍රතිශක්තියක් පවතිනව. මතුපිටට නොපැමිණී යටපත් වන සුළු ආසාදනයන් (Sub clinical infections) මගින් හටගන්නා ප‍්‍රතිශක්තිය ද මේ සඳහා හේතු වෙනව.
ප‍්‍රතිශක්තිය යහපත්ව පැවැතීම සඳහා රුධිරයේ හොඳ ප්‍රෝටීන සංයුතියක් පැවතිය යුතුයි. ඒ නිසා, විවිධ හේතු නිසා ඇති වෙන මන්දපෝෂණයෙදි ප‍්‍රතිශක්තිය දුර්වල වෙනව.
ඒ වාගෙම, නුපුරුදු (අළුත්) සහ උග‍්‍ර ආසාදනයන් ඇති කළ හැකි රෝගකාරක ප‍්‍රභේදයන්ට එරෙහිව ප‍්‍රජාව තුළ ප‍්‍රතිශක්තියක් වර්ධනය වී නැති නිසා, එවැනි රෝග ඉතා ඉක්මනින් පැතිරීමට පටන් ගන්නව. ඒත්, ක‍්‍රමයෙන් ප‍්‍රජාවේ ප‍්‍රතිශක්ති මට්ටම වැඩි වෙන්නට පටන්ගත් පසුව, රෝග ව්‍යාප්තිය අඩු වීමක් සිදු වෙනව.
ඇත්තටම නම්, අපේ ශරීරය ආරක්‍ෂා කරන්නෙ බාහිරව නෙපෙනෙන සියුම් උපක‍්‍රම මගින්, ශරීරය විසින්මයි. මුවවැසුම් බැඳීම වැනි දේ වලින් කෙරෙන්න එයට අත් උදව් දීමක් විතරයි.

වෛද්‍ය බී.එම්.සී දසනායක, වෛද්‍ය අධිකාරි, මූලික රෝහල, දියතලාව

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *