සැප වාහන හොරුන්ට දඬුවම් – ඇමති දිලුම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළුවී ව්‍යාජ ලෙස ලියාපදිංචි කරන ලද වාහන සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.
වාහන 700 ක් පිළිබඳ තොරතුරු අංක සහිතව දෙපාර්තුමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදුන් බවත් මෙම වංචාවට දැනට සිටින නිලධාරීන් පමණක් නොව මෙයට ඉහත සේවය කළ පිරිස්ද සම්බන්ධ බවත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළේය.
දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතියේ මුරපද දන්නා නිලධාරීන් කිහිප දෙනෙකු සිටින බවත් ඔවුන් අතරින් පිරිසක් පරිගණක පද්ධතියට ඇතුළු වී වංචා සහගත ලෙස වාහන ලියාපදිංචි කර තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම ලේඛණ ව්‍යාජ ලේඛණ ලෙස හැඳින්වීම කළ හැකිද යන්න ප්‍රශ්නයක් බවත් අදාළ වංචා සිදුකර තිබෙන්නේ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අවභාවිත කරමින් බවත් ඇමැතිවරයා පැවසුවේය.
වැරදි දත්ත පරිගණකයට ඇතුළු කර වාහන ලියාපදිංචි කළ නිලධාරීන් කවුද යන්න හඳුනාගත හැකි බවත් එලෙස ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ වාහන 700 ක තොරතුරු අංක සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදී තිබෙන බවත් ඒ මහතා කීවේය.
ව්‍යාජ ලෙස වාහනයක් ලියාපදිංචි කිරීමෙන් පසු එහි හිමිකරු වෙනත් පාර්ශවයකට වාහනය විකුණන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව හරහා එම වාහනය තමන්ගේ නමට පැවරුණු පසු කිසිවෙකුත් එය හොරට ලියාපදිංචි කළ වාහනයක් ලෙස නොසිතන බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම වාහන බහුතරයක් තිබෙන්නේ එහි මුල් හිමිකරු සතුව නොවන බවත් මේ නිසා පරීක්ෂණ වලදී මුලින්ම අසුවන්නේ ඔවුන් බවත් කී ඇමැතිවරයා තමන් නොකළ වරදකට දඬුවම් විඳීමට ඔවුන්ට ඉඩ නොතබන බවද ප්‍රකාශ කළේය.
පරීක්ෂණයේදී වැරදි කරුවන් ලෙස හඳුනාගන්නා පාර්ශවය අසරණ පාර්ශවයක් නම් ඒ අයට සාධාරණයක් කිරීමේ බලය මෝටර් රථ පනත අනුව කොමසාරිස්වරයාට තිබෙන බවත් ව්‍යාජ ලේඛණ සකස් කරන ලද නිලධාරීන්ට හා ඒවාට ඍජුව සම්බන්ධ වූ පුද්ගලයින්ට මිස එම උගුලට අසුවූ අයට දඬුවම් කිරීමේ වුවමනාවක් නැතැයිද හෙතෙම පැවසුවේය.
මෙම වංචාවේ කොටස් කරුවන් පිරිසක් බවට ඔවුන් නොදැනුවත්ව වුවත් අසුව තිබෙන නිසා වැඩිදුර විමර්ශන වලට ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීම අනිවාර්යයෙන්ම සිදුකෙරෙන බවත් ඒ සඳහා අවශ්‍යය සහය දීම ඔවුන්ගේ වගකීම බවත් ඇමැතිවරයා කීවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *