සියලු දිස්ත්‍රික්කවලට ප්‍රකාශන කාර්යංශයේ ශාඛා – කෙහෙලිය කියයි

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාල දිස්ත්‍රික්ක පහක ස්ථාපිත කර තිබෙන බවත් ඉදිරියේදී සියලු දිස්ත්‍රික්ක වලට මෙම කාර්යාල ගෙනයන බවත් ජනමාධ්‍ය අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඉදිරියේදී ගාල්ල,මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි රජයේ ප්‍රකාශන කාර්යාල විවෘත කරන බවද ඒ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාලයක් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විවෘත කරමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.  රජයේ ප්‍රකාශන කාර්යාලයක් මහනුවර තිබූ නමුත් පසුකාලීනව එය වැසීගිය බවත් නව කාර්යාලය මගින් රජයේ අණපනත් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වලට අදාල වැදගත් ප්‍රකාශන ලබාගත හැකි බවත් ඒ මහතා කීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 1948 නිදහසත් සමඟ ගොඩ නැගුණු වසර 72 ක ඉතිහාසයක් ඇති ආයතනයක් බවත් වගකීමකින් යුතුව විශ්වාසවන්තව තොරුතුරු ජනතාවට ලබා දීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් දෙපාර්තමේන්තුව විසින් ඉටුකරනු ලැබ තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.රජයේ සේවාවන් පහසු කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  මගින් විශාල සේවයක් ලැබෙන බවත් දෙසතිය වැනි සඟරා වලට අමතරව පාර්ලිමේන්තුවේ සම්මත වන අණපනත් සම්මත වූ විගස මෙම කාර්යාලය මගින් ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන බවත් රඹුක්වැල්ල මහතා පැවසුවේය. නීතීඥ මහත්වරුන්ට,පාසැල් දරුවන්ට මෙමඟින් වැඩි ප්‍රයෝජනයක් අත්වනු ඇති බවද ඒ මහතා කීය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් විශාල ලෙස සැළසුම් සකස් කර තිබෙන බවත් ඒ යටතේ දිස්ත්‍රික්ක 25 න් තෝරාගත් පාසැල් 25 ක්  මාධ්‍ය විදුහල් ලෙස හඳුනා ගෙන මාධ්‍ය අංශයට කැමැත්ත ඇති දරුවන් ඒවාට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරනු ලබන්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළදී නොව පහළ පංති වලදී බවත් විවිධ ක්ෂේත්‍ර වලට දක්ෂ දරුවන් සිටින බැවින් එම දක්ෂතා හඳුනාගෙන ඔවුන්ට නිවැරදි මඟ පෙන්වීම කරන්නේ නම් සෑම දරුවෙකුම ජීවිතයේ සාර්ථකත්වය කරා ගමන් කරනු ඇති බවත් ඒ මහතා කීය.

අසමත් කියන වචනය තමන් භාවිත නොකරන බවත් සාමාන්‍ය පෙළ අසමත් වුණාම ලෝකයම නැතිවූ සේ  සමහරු හැසිරෙන බවත් කී ඇමැතිවරයා ලෝකයේ ලොකුම සල්ලි කාරයින් බොහෝ දෙනෙකු ගණිතය අසමත් වූවන් බවද අවධාරණය කළේය.

ව්‍යාපාර ලෝකයේ ඉහළට ගිය වැඩි දෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් නොලැබූ අය බවත් විභාගයක් අසමත් වූ පමණින් ජීවිතයම කඩා නොවැටෙන බව ළමුන් පමණක් නොව දෙමව්පියන්ද තේරුම් ගත යුතුව ඇතැයි හෙතෙම පැවසුවේය. පදනම් ආයතනය සතුව විශාල සම්පත් ප්‍රමාණයක් තිබෙන බවත් එය කේන්ද්‍ර කර ගනිමින් සුවිශේෂි අධ්‍යාපන ආයතනයක් බිහිකරන බවත් රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා අදහස් දක්වමින් ජනතාවට තොරතුරු සම්පාදනය කිරීමේ නිත්‍යානුකූල වගකීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේට පැවරී තිබෙන බවත් කොවිඩ් තත්ත්වයත් සමඟ වඩා විශ්වාසවන්තව වගකීමෙන් යුතුව ඉක්මනින් තොරතුරු ගෙන යාමට දෙපාර්තමේන්තුවේ සියලු ක්‍රමවේද භාවිත කරන බවත් කීය. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සතුව දිස්ත්‍රික් කාර්යාල තිබෙන බවත් යාපනය හා කිලිනොච්ච් දිස්ත්‍රික්ක වල පසුගියදා නව කාර්යාල විවෘත කිරීමත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි  දිස්ත්‍රික් කාර්යාල පිහිටුවා අවසන් වූ බවත් ඒ මහතා පැවසුවේය. දිස්ත්‍රික් මට්ටමින් සිදුවන සංවර්ධන ක්‍රියාවලීන් සමීපව අධ්‍යන්‍යය කරමින් ජනතාවට එම තොරතුරු සන්නිවේදනය කිරීමේ හැකියාව මේ ඔස්සේ ලැබී තිබෙන බවද කළුවැව මහතා ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් මහනුවර දිස්ත්‍රික් ඒකකයට පරිගණයක් ලබාදුන් අතර එය ඇමැතිවරයා අතින් දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී තනූජ අබේසේකර මහතා ලබා ගත්තේය. මහනුවර ප්‍රදේශිය මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය පිණිස මාධ්‍ය භාරයක් පිහිටුවීම සඳහා වන යෝජනාවලියක්ද මෙහිදී තනූජ අබේසේකර මහතා විසින් ජනමාධ්‍ය ඇමතිවරයාට පිළිගන්වනු ලැබීය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ,මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ,නීතීඥ උදයන කිරිඳිගොඩ,ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *