සී.බී විමලවීරට හරස් වෙයිද?

වනජීවි පනත කිසිදු ආකාරයෙන් උල්ලංඝනය කිරීමට තමන් කිසිවෙකුටත් ඉඩ නොදෙන බව වනජීවී අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසයි. රටේ වනජීවී සම්පත ආරක්ෂා කිරීම සඳහා පවතින නිර්ණායක හා අණපනත් ඒ ආකාරයෙන් ආරක්ෂා කරන බවට තමන් පොරොන්දු වන බවද ඒ මහතා කීය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අද (06) විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. පොළොන්නරුව තෙත්බිම් කලාපය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් එහි  කිසිවෙකුට හෝ නීති විරෝධී අනිසි ක්‍රියා සිදු කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

මේ රටේ තිබෙන වනාන්තර හෙක්ටයාර දොළොස් ලක්ෂයක් වන ප්‍රමාණය ආරක්ෂා කිරීමට ඉන්නේ වනජීවී නිලධාරීන් දහසක පමණ පිරිසක් පමණක් බවත් එම  සංඛ්‍යාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් කී රත්නායක මහතා මේ නිසා වනජීවියට අයත් භූමි ප්‍රදේශයන් තුළ අනවසරයෙන් මැණික් ගරන්නන්, නිධන් හාරන්නන්, ගස් කපන්නන්, සතුන් දඩයම් කරන්නන් මෙන්ම කුමන ආකාරයෙන් හෝ වන සම්පත විනාශ කරන්නන් හා ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට තීරණය කළ බවද හෙතෙම අවධාරණය කළේය.

වනජීවීන් හා වන සම්පත විනාශ කරන්නන්ට එරෙහිව ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහාය ඇතිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත්  වන ගහනය වැඩි කිරිමට මෙන්ම වන ජීවීන්ගේ ගහණය වැඩි කිරීමටද පියවර ගනිමින් සිටින බවත් ඒ මහතා කීය. වන සතුන්ගෙන් වන වගා හානි වැළැක්වීම සඳහා ද අවශ්‍ය පියවර ගන්නේ යැයි ඇමැතිවරයා පැවසුවේය.

වනජීවී වෘත්තීය සමිති යම් සංකේතාත්මක වැඩවර්ජනයක්  කිරීමට බලාපොරොත්තු වුවත් දුරකථන මගින් එම වෘත්තීය සමිති හා තමන් කළ සාකච්ඡා යම් සාධනීය මට්ටමකින් අවසන්ව තිබෙන බවත් කඩිනමින් වෘත්තීය සමිති හා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් හෙතෙම කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *