සුද්දො කන අපි වඳින “සීතා ගුලිය”

රාවණ අපේ යැයිද මේ ඔහුගේ ලංකා පුරය යැයිද පිළිගන්නා පිරිස එමටය. එහෙත් ඔවුන් අමතක කරන කරුණක් වන්නේ පුරාණ ලේඛන කිසිවක මේ දිවයින ලංකා නමින් නොහැඳිනූ බවයි. ඇතැමෙකු පවසන අන්දමට රාමායනයේ එන ලංකාපුරය ඉන්දියාවේම පිහිටි ප්‍රාදේශීය රාජ්‍යයකි. ඒ අතර ඉන්දියාවෙන් පිටත ලංකාවේ මෙන්ම ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේද රාවණ මිත කතාව පැතිර පවත්නා අතර ලංකාවේ මෙන්ම එය තහවුරු කිරීමට සාධක සොයන හා පෙන්වන බහුශ්‍රැත උගත්තු ඒ රටවලද වෙති. ලංකාවේ සීගිරියේ පටන් ග්‍රාම නාම හා වෙනත් ප්‍රවාදද භාවිතා කරමින් රාවණ සජීවකරණය කරන්නට වෙහෙසෙන පිරිස හා වාදය වෙනම කාර්යයක් වන අතර එසමයෙහි විසූ මිනිසා බලංගොඩ මානවයා හා සමපාත කරමින් දඬුමොනරය ඈ රාවණ තාක්ෂණය පිළිබඳ සිතා බැලීම කියවන්නාට භාර ය. රාවණ කතාව හා සබැඳි බොහෝ පුවත් මහාවංශය හෝ වෙනත් පුරා අභිලේඛනවලින් හෙළි වන ලංකා ඉතිහාසය හා ගැලපීම ඉතිහාස උගතුන්ට භාර කර්තව්‍යයක් වන අතර අවශේෂ විදුහුරු සාක්ෂි සොයා ගැනීම පුරා විද්‍යාඥයන්ගේ කාර්යයකි. කෙසේවෙතත් ව්‍යාපාරික ආදී වෙනත් අරමුණු හෙයින් රාවණ කතාව ඔසොවා තැබීම නිශ්ඵල නොවන බව නම් හග්ගලට නොදුරු සීතා කෝවිල නිදසුන් කොට පෙන්වා දිය හැකි වේ. දැන් කොවිඩ් සමය හෙයින් ජනාකීර්ණ නොවුණද වෙනදා සංචාරක ඉන්දීය හින්දූන්ගෙන් පිරුණු එතැන දීර්ඝ ඉතිහාසයක් ඇති පුදබිමක් නොවන කලකට පෙර අටවා ගත්තකි. තවම දඬුමොනරය ගැන කිසිම සාක්ෂියක් සොයා ගන්නට නොලැබුණු මේ ලියුම්කරුද කලක් රාවණ මිත කතාවෙන් වසඟව පුරාවෘත්ත පසුපස හඹා යමින් තොරතුරු රැස් කළ හෙයින් බොහෝ තැන් හා කරුණු පිළිබඳ සොයා බලා රාවණ නිද්‍රාවෙන් මිදුණෙකි. ඒ ගවේෂණවලදී ලියුම්කරුට අසන්නට ලැබුණු ප්‍රවාදගත රාවණ පැවැත්මේ සාක්ෂි අතර සීතාවගේ පරිභෝජනයට රාවණ දුන් ආහාරවල අවශේෂ ගැන  කතාද වේ.

සීතා ගුලිය හා විල් ලූනු

විල් ලූනු ගැන කතන්දර සොයා ලියුම්කරු ලංකාවේ වඩා උසින් පිහිටි ජනාවාසයක් වන නැග්රැක් වෙත ගියේය. දේශජ ඇලියුම් ශාඛයක් වන කාලික මේ භෝගය හෝර්ටන් තැන්න ජාතික වන උයනේ ඇතුළට කිමිදී නෙළා ගන්නේ දිළිඳු වතු කම්කරු පුරුෂයෝ ය. ශ්‍රී රාමට පොල් ගෙඩියක් පුද කොට වනගත වන ඔවුහු ඒවා නෙළා ගෙනැවිත් ආසන්න පොළවල විකුණති. මේ කම්කරු ජනයාගේ විශ්වාසයට අනුව රාවණ සිරගත කොටගෙන සිටි සීතාවට දුන් සුදු ලූනු කුල්ලක ලා පෙලූ පසු ඉවත හළ පොතුවලින් විල් ලූනු ඉපිද තිබේ. විල් ලූනු තරම්වත් පහසුවෙන් සොයා ගත නොහැකි හා ආහාරයට ගත නොහැකි පුරාවෘත්ත ගත ආහාර අවශේෂය යැයි ජනයා හඳුන්වන්නේ සීතා ගුලි ය. ලියුම්කරුට සීතා ගුලි ගැන මුලින්ම අසන්නට ලැබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හරස්බැද්ද හා හග්ගලට නොදුරු ගම්වල ජනයාගෙනි. ඔවුන්ට අනුව සිය කෙත්වතුවල වැඩපල කරද්දී හමුවන පාෂාණිභුත අග්ගලාවක් වැනි සීතා ගුලි රාවණ සීතාවට කන්නට දුන් ඇය ඉවත හළ බත් ගුලි ය.

සීතා ගුලි ලෙස ගම්මු ඒවා හඳුන්වති

ගැමි විශ්වාසයට අනුව ඒවාගේ ඖෂධීය ගුණයක් තිබේ. උදරාබාධයකින් පෙළෙන අයෙකුට සීතා ගුලියක් උරච්චි කොට බොන්නට දීමෙන් එය පහව යයි. මේ විස්මිත සීතා ගුලියක් දැක ගැනීමේ ලියුම්කරුගේ අරමුණ ඉටු වූයේ නුවරඑළිය මහකුඩුගලට නොදුරු ගමකදී ය. එහි ඇතැම් නිවැසියෙකුට  වතු වැඩවලදී හමු වූ සීතා ගුලි බදුන්ට පහන තබන තැන ගරු කටයුතු ලෙස තබා වැඳුම් පිදුම් කරනු ලැබේ. එවැනි නිවෙසකදී දකින්නට ලැබුණු සීතා ගුලිය කලු දුඹුරු පැහැයක් ගත් පිට කවචයක් වැනි තුනී වැස්මකින්ද, සුදු පැහැති මදයකින්ද සමන්විත විය. බොහෝ තද ගලක් වැනි නමුත් එතරම් බර නැති ඒ ගුලි දියේ ගිලෙයි. එහි දැඩි බව මැන එහි සිටි ලියුම්කරුගේ මිතුරෙකු පැවසුවේ සීතා ගුලිය යනු බොහෝ පුරාණයේ පොළවට වැටුණු උල්කාවක කොටස් විය හැකි බවයි. එහෙත් ඒ මතය ඉඳුරා බැහැර කළ හැකි වන්නේ නුවරඑළිය දිසාවේ විශාල බිමක එවැනි විසිරුම් තිබියදී පවා අන්‍ය කිසිම සාක්ෂියක් විසල් උල්කාවක පතනයක් ගැන දක්නට නොලැබෙන බැවිනි. එබැවින් ලියුම්කරුට සිතන්නට ඉතිරි වූයේ සීතා ගුලිය කිසියම් ජෛවීය ව්‍යුහයක අතුරු ඵලයක්  බවයි. එනම් එය කිසියම් භෞම දිලීරයක ඵලයක් වන අතර කාලයක් තිස්සේ පොළවේ තිබී දැඩිව ඇති බවයි.

සක්විති රාවණ පිළිබඳ මිත කතා අසන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන් පමණක් නොවේ. ඉන්දීය හින්දු සමයවාදියෙකු වූ වාල්මිකී විරචිත රාමායන කාව්‍ය නිසා වෛරී සහගත හැඟුමකින් ඉන්දියානුවෝ රාවණා පිළිගනිද්දී එහි එන ලංකා රාජධානිය වත්මන් ශ්‍රී ලංකාව බව ඉඳුරා පිළිගන්නා ලාංකිකයෝද රාවණ පුරාවෘත්තය හා ඔහුගේ හපන්කම්ද, මේ රාවණ රාජධානිය බවද, සීගිරිය පවා එක්තරා සමයෙක රාවණගේ වාසභවන ව පැවති බවද විශ්වාස කරති. ඇතැම් රූපවාහිනී වීර කාව්‍යයෝද මෙවැනි මතයක් ප්‍රතිනිෂ්පාදනය කිරීමේ හේතුව බව පෙනේ. එසේම රාවණ දුෂ්ටයෙකු ලෙස සළකන ඉන්දීය ජනමතයට එරෙහි ප්‍රති මත නිෂ්පාදනයේදීද රාවණ වීරයෙකු කිරීමේ ව්‍යාපෘතිය මනාව භාවිතා කළ හැකි වේ. කමන්ගේ ආචාර්ය උපාධිය ලබාගත්තේ කෙසේද, කොහෙන්දැයි සාධක සහිතව පෙන්වා දෙන්නට තැත් නොකරන ඇතැම් උගත්තුද පසුගිය කාලයේ රාවණ පුරාවෘත්තය ඔප්පු කිරීමට වෙහෙසුණු අතර දීර්ඝ නිද්‍රාවක වෙසෙන රාවණ දිනෙක අවදි වන බවද පැවසූහ. ඔවුන්ගේ වීරාභිවාදනවලින්ද පන්නරය ලැබූ පරම්පරාගත රාවණ ප්‍රවාද දිවයිනේ පළාත් කිහිපයක පැතිර තිබෙන නමුත් ඒවා කෙසේ නිෂ්පන්න වී දැයි සොයා බැලූ පෘථුල අධ්‍යනයක් තවම දැකගන්නට නොලැබෙන අතර බොහෝ කතා එහෙන් මෙහෙන් ඇහිද ගත් ඒවාය. රාවණ පුරාවත සම්බන්ධ මෙවැනි කතා පැතිර පවත්නේ ලංකාවේ පමණක් නොවන අතර හින්දු සමයවාදීන්ගේ බලපෑමට පුරාණයේ ලක් වූ රටවල් කිහිපයක රාවණ කතාව පිළිගන්නා පිරිස ජීවත් වෙති.

කුස්සියේ දියමන්ති හා සීතා ගුලි

ගවේෂකයෙකුට කිසියම් ප්‍රයත්නයකින් අනතුරුව සීතා ගුලි දිලීරයක දේහමය ඵලය බව ඔප්පු කිරීමට පුලුවන. බටහිර රටවල් “කුස්සියේ දියමන්ති” යැයි  හඳුන්වන ආහාරයට ගන්නා මිල අධික දිලීරමය ඵලයක් තිබේ. ඒවා ට්‍රෆල් Truffle නමැති භූගත ටියුබර් කුලයට අයත් ඇස්කොමිසයිට් දිලීරයක ඵලයයි. දැඩි නියඟයකට පවා ඔරොත්තු දෙන නමුත් වැස්ස හා තෙතමනය සීතල වැනි සාධක හා ගැලපුණු ජිවිත ඇති මේ දිලීර ඇතැම් ශාඛ වර්ගවල මූල පද්ධතිය ඇසුරේ පොළව තුළ වැඩේ. මෙවැනි ඵල නිපදවන දිලීර වර්ග සිය ගණනක් ඇති අතර ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය හා ඇතැම් මධ්‍යධරණී රටවල ඒවා මිල අධික ආහාරයකි. ඉතිහාසය පිරික්සන විට සිසෙරෝ ඒවා පොළවේ දරුවන් ලෙසද ඩයොස්කෝරයිඩ්ස් කිසියම් අල වර්ගයක් ලෙසද සැළකූ බව පෙනේ. ප්ලූටාර්ක් වැනි අය කල්පනා කළේ පසෙහි උණුසුම, වර්ෂාව හා  අකුණු නිසා ඒවා උපත ලබන බවයි. කෙසේවෙතත් ට්‍රෆල් පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙන්නේ ක්‍රි.පූර්ව හතරවන සියවසේ ලියැවුණු තියෝෆ්‍රාස්ටස්ගේ ලේඛනවල වන අතර ක්‍රි.පූර්ව විසිවැනි සියවසේ නව සුමේරියානුවන්ගේ සතුරන් වන අමේරියානුවන් ඒවා ආහාරයට ගත් බව සඳහන් වේ. අද වනවිට ඒවා යුරෝපීය ධන කුවේරයන්ගේ භෝජන මේස මත තිබෙන ඉතාම මිල අධික ආහාර වර්ගවලින් එකකි. ප්‍රංශය වැනි රටවල ට්‍රෆල් සංස්කෘතියක් ගොඩ නැගී ඇති අතර ඔවුහු ඒවා වගා කිරීමටද පෙළඹී සිටිති. මේ වනවිට නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවද ඒවා වගා කර අලෙවි කිරීමට හුරුව සිටින රටවල් ය. මේ දිලීර ඵල වර්ග කිහිපයක් තිබෙන අතර බ්ලැක් ට්‍රෆල් යැයි හඳුන්වන සාපේක්ෂව බහුල වර්ගය කිලෝව ඩොලර් 2000ක පමණ මිලකට අලෙවි වේ. ඇතැම් වර්ගයක මිළ එමෙන් කිහිප ගුණයක් වන අතර ඒවා ලොව මිල අධිකම ආහාර ලෙස හඳුන්වයි.

සීතා ගුලියට වැඳගෙන ඉමුද?

දෙරටක කතා අතර ප්‍රංශය ඕක්, හේසල්නට් හා චෙරි වැනි වඩා සහායක මූල පද්ධතියක් ඇති ගස් ඇසුරේ බ්ලැක් ට්‍රෆල් අස්වැන්න වර්ධනය කර ගන්නට වෙහෙසෙයි. මේ ශාඛ විශේෂ මෙරට නොවැවේ. එහෙත් අපේ සීතා ගුලිය කිසියම් අන්දමේ ට්‍රෆල් දිලීරයක ඵලය නම් ඒවාට වැඩෙන්නට හිතැති පස, දේශගුණික සාධක හා සහකාර ගස් විශේෂයක්ද තිබෙන බව පැහැදිලිය. නමුත් මේ තාක් සිදුව නැත්තේ ගවේෂණයයි. අඩුම තරමේ සීතා ගුලිය බත් ගුලියක්ද නැතිද යන්න සොයා ගැනීමටවත් විදුහුරු පරීක්ෂණයක් සිදු කර නැත. මිරැන්ඩෝලා, සූරිය ගුණසේකරලාගේ පටන් පිළිගත හැකි විශ්ව විද්‍යාල ශික්ෂණයක් ඇති ඇදුරෝ පවා අමුතු ඉතිහාසයක් ගැන වාචාලයන් සේ කයිවාරු ගසමින් ලෝකෙට ලංකාව ගැන මැජික් පෙන්වන්නට තැත් දරති. ඒ අතර ප්‍රංශ කාරයෝ පුහුණු කළ බල්ලන් හා ඌරන් යොදා ගෙන වනබිම්වලද ට්‍රෆල් නෙලති. ඒවායින් පෙරාගත් තෙල් සහ වොඩ්කාද විකුණති. අපි සීතා ගුලිය යනු කුමක්දැයි හරිහැටි දැන ගැනීමටවත් මහන්සි නොවී ඒවාට පහන් දල්වා වඳිමින් සිටිමු.

ලසන්ත ද සිල්වා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *