සුනන්ද සහ සඳරුවන් සියරට ගෙන්වා දඬුවම් කරන්නැයි පිරිසක් ඉල්ලති

විදේශගතව සිට ලංකාවට හා රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන සමන්ත පුෂ්පකුමාර, සුනන්ද දේශප්‍රිය හා සඳරුවන් සේනාධීර යන පුද්ගලයින් තිදෙනා වහාම ශ්‍රී ලංකාවට රැගෙන විත් ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි එක්සත් රණවිරු ප්‍රජාව නම් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කරයි.

මහනුවර 31 දින පැවති මාධ්‍ය හමුවකදී එක්සත්  රණවිරු ප්‍රජාව සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි සඳහන් කළේ අප රටට ද්‍රෝහීව කටයුතු කරන මෙම තැනැත්තන් තිදෙනා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අදාළ නීතිමය කටයුතු වහා ආරම්භ කළ යුතුව පවතින බවය.

මුස්ලිම් කොංග්‍රසයෙ  හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන සමන්ත පුෂ්පකුමාර හා  සුනන්ද දේශප්‍රිය ස්විට්සර්ලන්තයෙ ජිනීවා නුවර පදිංචිව සිටද සඳරුවන් සේනාධීර යන පුද්ගලයා එංගලන්තයේ සිට ද මේ වනවිට ශ්‍රී ලංකාවට එරෙහිව විවිධ වෙබ් අඩවි ,ෆේස්බුක් ජාල උපයෝගී කරගනිමින් නිරන්තරයෙන් සිංහල සංවිධාන හා භික්ෂූන් වහන්සේලා , රණවිරුවන් මෙන්ම රජය විවේචනය කරමින් අප රට ජාත්‍යන්තරයේ  විශාල අප්‍රසාදයකට හෙළමින් කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.                                                                        ඊට අමතරව මෙම පුද්ගලයන් මුස්ලිම් ජාතිවාදී සංවිධාන වෙතින් මුදල් ලබා ගනිමින් මෙරට කොවිඩ්  මුස්ලිම් මෘතදේහ භූමිදාන කළ යුතු බවට ජාත්‍යන්තර මතයක් ගෙන ඒම සඳහා විවිධ ක්‍රියාකාරකම් සිදු කරන බවද , පාස්කු ප්‍රහාරය අපහසුතාවකින් තොරව සිදු කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අති දැවැන්ත මුදලක් පගාවක් වශයෙන් ලබාදී ඇති බවද මෙම කණ්ඩායම  සදහන් කරන බැවින්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුතු බවද අසේල ධර්මසිරි වැඩි දුරටත් සඳහන් කරයි.

එමෙන්ම මෙම තිදෙනා ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ විවිධ ජාතිවාදී මුස්ලිම් සංවිධාන සමග සමීප ඇසුරක් ගෙන යමින් රටට ජාතියට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව වෙත නොමඟ යවන සුළු තොරතුරු ව්‍යාප්ත  කරමින් සිංහල හා මුස්ලිම් ජනතාව අතර විරසකයක් ඇති කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මොවුන් වහාම ශ්‍රී ලංකාවට රැගෙන විත් ඔවුන්ට එරෙහිව  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතට අනුව දැඩි නීතිමය පියවර ගත යුතු බවද එක්සත් රණවිරු ප්‍රජාව සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි වැඩිදුරටත් සඳහන් කරයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *