සේවකයන්ට කොවිඩ්, කසල විධිමත්ව බැහැර කරන්න – මහනුවර මහනගර සභාව

මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කලමණාකරණ ඒකකයේ සේවයේ නියුතු කම්කරුවන් පිරිසකට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් නගරයේ කැළි කසළ දෛනිකව ඉවත් කිරීමේ කටයුතු වලට බාධා ඇතිව තිබෙන බව මහනුවර පුරපති කේසර සේනානායක මහතා පවසයි.නගරයේ කසළ ඉවත් කිරීමේ කටයුතු වල නිරතව සිටින නගර සභාවේ සේවකයින් අති බහුතරයක් ජීවත් වන්නේ මහනුවර මහයියාව ආශ්‍රිතව බවත් එම ප්‍රදේශයේ 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ එහි කොටසකට සංචරණ සීමා පැනවූ බවත් ඒ මහතා කීය.මහනුවර මහ නගර සභාවේ අද (25) පැවැති මාධ්‍ය හමුවකදී නගරාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.පවතින තත්ත්වය තුළ කසළ බැහැර කිරීමේ කටයුතු වල නිරත සේවකයින් විශාල පිරිසක් සේවයට නොකැඳවීමට සිදුව තිබෙන බවත් මේ නිසා දෛනිකව කසළ ඒකරාශි කිරීම සිදු කිරීමට බාධා ඇතිව තිබෙන බවත් හෙතෙම පැවසුවේය.නගර සභාව මගින් නාගරික ජනතාව වෙනුවෙන් කරනු ලබන සේවාවන් කිසිවක් අඩාල නොවී පවත්වා ගෙන යෑමට උපරිම පියවර ගෙන තිබෙන බවත් නගරයේ කසළ බැහැර කිරීම සතියකට දින තුනක් පමණක් සිදු කිරීමට තීරණය කර තිබෙන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

කසළ බැහැර කිරීම අනවශ්‍ය ලෙස නොකරන ලෙසත් මෙම බැරෑරුම් අවස්ථාවේ ජනතාවගේ සහය නගර සභාව බලාපොරොත්තු වන බවත් සේනානායක මහතා කීය.මෙම අවස්ථාවට නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන්,විපක්ෂ නායක සේන දිසානායක,නාගරික මන්ත්‍රී විපුල රණසිංහ යන මහත්වරු සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *