හංගන්නේ නැතිව එළියට ගත යුතු ලිංගික අධ්‍යාපනය

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහචාර්ය ආර.එම් මුදියන්සේ

මිනිසාගේ පමණක් නොව සත්ත්වයාගේද පැවැත්ම තහවුරුව තිබෙන්නේ ලිංගික ක්‍රියාවලිය මතය.නිසි වයස සම්පූර්ණවූ විට ශරීරයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස් කම් සමඟ ලිංගික හැඟීම් උත්දීපනය වීම සාමාන්‍යය තත්ත්වයකි.මෙම වයස් සීමාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වෙයි.වයස අවුරුදු හය සම්පූර්ණවූ පසු පාසැල් අධ්‍යාපනයට යොමු කෙරෙන දරුවෝ වයස අවුරුදු 18 ක් පමණ විට උසස් පෙළ විභාගයට පෙනී සිටිති.බොහෝ විට වයස අවුරුදු 12 ක් සම්පූර්ණවූ විට දරුවන් තුළ පෙර කී ලිංගික විපර්යාසයන් දක්නට ලැබේ.මේ සඳහා නිශ්චිත වයසක් සඳහන් කළ නොහැකි වුවත් පාසැල් අධ්‍යාපනය හමාර කරන්නට පෙර ආදළ වෙනස් කම් සිදුවන බව නිශ්චිත ලෙසම පැවසීමට පුළුවන.ආදළ වෙනස් කම් සිදුවීම ආරම්භ වීමත් සමඟ ශරීරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව දරුවා තුළ කුතුහලයක් හට ගැනීම සාමාන්‍යය තත්ත්වයකි.කුතුහලයක් ඇතිවූ විට කවුරුත් සිදු කරන්නේ එය පහකර ගැනීම පිණිස ආදළ කාරනය ගැන සොයා බලා දැනුවත් වීමටය.ඒ සඳහා දෙමව්පියන්,ගුරුවරුන්,වැඩිහිටියන්,හිතමිතුරන්,සමවයසේ මිතුරන් උපයෝගි කර ගැනීම දක්නට ලැබුනත් වර්තමානයේදී ඒ තැන අන්තර්ජාලය විසින් බොහෝ දුරට ආක්‍රමණය කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ.අන්තර්ජාලය ඔස්සේ සෙක්ස් යන වචනය වැඩියෙන්ම සෙවූවන් සිටින රටවල් අතර ශ්‍රීලංකාව පෙරමුණට පැමිණීම තුළින් මෙම තත්ත්වය තේරුම් ගත හැකිය.සෙක්ස් යන වචනය අන්තර් ජාලය තුළ සෙවීම සිදුකළ කාල සීමාවන් සැලකීමේදී වැඩිම පිරිසක් සෙවුම් යන්ත්‍ර වලට ඇතුළත්ව තිබෙන්නේ  පාසැල් නිවාඩු කාල සීමාවේදී බවද හෙළිවී තිබේ.ලිංගිකත්වය සම්බන්ධව සමජය තුළ දැඩි කුතුහලයක් පවතින බව මින් පැහැදිලිය.එය අප රටට පමණක් ආවේනික දෙයක් නොවන නමුත් අප ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන්නේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධව රටක් ලෙස අප පැහැදිලි වැඩපිළිළෙක පිහිටා ක්‍රියා කරන ස්වභාවයක් දක්නට නොලැබෙන බැවිනි.

ලිංගික අධ්‍යාපනය යනු කුණුහරුපයක් නොවන බව අප මුලින් තේරුම් ගත යුතුව තිබේ.ලිංගික අධ්‍යාපනය පාසැල් අධ්‍යාපනයට ඇතුළත් කිරීම පිණිස උත්සහ කළ සෑම අවස්ථාවකම අප කළේ සර්පයාගේ බඩ මැද්දෙන් අල්ලා ගන්නා සේ එම වැඩපිළිවෙළේ වැරදි තැනින් අල්ලා ගැනීමය.බඩ මැද්දෙන් අල්ලා ගත් පසු සර්පයා හැරී අතසපා කන්නා සේ ලිංගික අධ්‍යාපනය පාසැල් ළමුන්ට ලබාදීම පිණිස ගත් උත්සහයන්ද ව්‍යර්ථව ගියේ ඒවා කරන්නට උත්සහ කළ පිරිස් සමජය තුළ බරපතල විවේචනයන්ට ලක්වීමෙන් අනතුරුවය.මෙම වැඩපිළිවෙළ දියත් කළ යුතු වන්නේ මෙරට සංස්කෘතියට අනුගතවය.බටහිර රටවල් මේ සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාවලිය එපරිද්දෙන්ම මෙරට තුළ ක්‍රියාත්මක කළ නොහැකිය.බුදුදහම හා බැඳී පවතින මෙරට සංස්කෘතිය තුළ ලිංගික කාරනා එළිපිට කතා නොකරන බව අප මුලින් තේරුම් ගත යුතුව තිබේ.එම සදාචාරය හා හැදියාව අපට සංස්කෘතියෙන් උරුමවූ දෙයකි.එයට අභියෝග කිරීමට යෑම අනුවණ කමකි.එසේ කියා මෙම අධ්‍යාපනය බැහැර කර ඉවත ලීමද මෝඩ කමකි.හෝමෝන ක්‍රියාකාරීත්වයේ අඩුවැඩි වීම්  සමඟ ශරීරයේ සිදුවන වෙනස් කම් පිළිබඳ උනන්දු වන දරුවා ඊට හේතු බොහෝ විට අසා දැන ගන්නේ මවගෙන් හෝ පියාගෙනි.මාපිය දූදරු සබඳතා එතරම් කිට්ටු නොවන විට දරුවා වැඩිහිටි අයෙකු ගෙන් එය දැන ගැනීමට උනන්දු වෙයි.මව හා පියා හැරුණු විට මෙම කරුණු අසා දැන ගැනීමට සිටින හොඳම පුද්ගලයා ගුරුවරයාය.පාසල තුළ ඊට ඉඩක් නොමැති වුවහොත් දරුවා තම කුතුහලය නැති කර ගැනීමට බොහෝ විට උපයෝගි කරගනු ලබන්නේ  දෙමව්පියන් හැර සෙසු කණ්ඩායම් වලින් එකක් හෝ කිහිපයකි.මෙහිදී දරුවාට නිවැරදි දේ අවශ්‍යය ප්‍රමාණයට පමණක් කියා දේවි යැයි සහතික විය නොහැකිය.අන්තර්ජාලයද මේ ආකාරය.එහි හොඳ හෝ නරක තීරණය වන්නේ භාවිත කරන්නාගේ ක්‍රියාකලාපය හා ආකල්ප මතය.පාසැල් විෂයක් ලෙස ලිංගික අධ්‍යාපනය අනිවාර්යයෙන්ම කතා කළ යුතු මාතෘකාවක් බවට පත්වන්නේ මෙම පසුබිම තුළය.

සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් විෂය ධාරාවේ විෂයයක් ලෙස ඇතුළත්කර තිබේ.එහෙත් එය දරුවන්ට වැදගත් සහ අත්‍යවශ්‍ය විෂයක් ලෙස ඇතැම් ගුරුවරු පවා නොසලකති.බාල වයස්කරුවන් අපයෝජනයට ලක්වීම,ගැබ් ගැනීම වැනි සිදුවීම් අප රටේ අඩුවක් නොමැතිව වාර්තා වෙයි.පාසැල් වයස හැරගිය තරුණියන් විශාල සංඛ්‍යාවක් ගබ්සා කර ගැනීම් වලට ලක් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන් තුළ ලිංගික ක්‍රියාවලියේදී ආරක්ෂා වනනේ කෙසේද යන්න පිළිබඳව පවත්නා අනවබෝධය නිසාය.ගබ්සා කිරීම මෙරට නීතිය අනුව වරදකි.මේ නිසා එවැනි ක්‍රියා සිදු කෙරෙන්නේ හොර රහසේය.අවිධිමත් ක්‍රම ඊට භාවිත කෙරෙයි.මේ නිසාම ගබ්සා කිරීම් වලට ගොස් අකාලයේ මරු වැළඳ ගන්නා කාන්තාවෝද සිටිති.හැඟීම් වලට වහල් වීම මෙන්ම නොදැනුවත්කම යන කාරනා දෙකම මෙහිදී දැකිය හැකිය.මෙම කාරනා දෙකම ආමන්ත්‍රණය කළ  යුත්තේ අධ්‍යාපනය ඔස්සේය.අධ්‍යාපනය කුමක් සඳහාද යන කාරනය අප හොඳින් අවබොධ කරගත යුතුය.විෂය කරුණු මතකයේ තැන්පත් කර  තබා ගනිමින් විභාග ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලිවීමට දරුවා යොමු කිරීම අධ්‍යාපනය නොවන්නේය.අධ්‍යාපනය මගින් පුද්ගලයෙකු වඩාත් ඵලදායි යහපත් සමාජශීලී හැසිරීම් සඳහා යොමු කළ යුතුය.අධ්‍යාපනයෙන් හුදෙක් අපේක්ෂා කරන්වඩාත් ඵලදායි ලෙස රැකියා කරන ජන සමාජයක් ගොඩ නැගීම පමණක්ද යන ප්‍රශ්නය අප හමුවේ තිබේ.ධනය සම්පත් එකතු කර ගැනීම හා බැදුණු ගැටුම් ස්වභාවය ඉන් වලක්වා ගත නොහැකිය.අධ්‍යාපනය භෞතික සම්පත් ළඟා කර ගන්නා මෙවලමක් ලෙස සලකා හැඩ ගැස්සවීම එතරම් සුබදායක නොවන්නේය.කරුණු දැන ගැනීමත් ඒවා තමන්ගේත් ජන සමජයෙත් වාසිය පිණිස භාවිත කිරීමත් යන කාරනා වලින්  ඔබ්බට ගිය ගැඹුරු අවබොධයක් පුද්ගලයෙකු තුළ ඇති කිරීම පිණිස අධ්‍යාපනය යොදා ගත යුතුය.

විසි එක්වන  සියවසේ ලෝක අධ්‍යාපන රාමුව සලකා බැලීමේදී අධ්‍යාපනයේ  අපේක්ෂාව විෂයානු බද්ධ කරුණු එක්රැස් කර ගැනීමත් කුසලතාවන් හා පෞරුෂ සංවර්ධනයත්  ලෙස හඳුනා ගැනීමට පුළුවන.විෂයානුබද්ධ කරුණු ලෙස ගැනෙන්නේ භාෂාව,ගණිතය,විද්‍යාව,සමාජඅධ්‍යන්‍යය හා තොරතුරු තාක්ෂණයයි.කුසලතවන් ලෙස සලකනු ලබන්නේ සන්නිවේදනය,සහයෝගිතාව,තාර්කික චින්තනය හා නිර්මාණශීලීත්වයයි.පෞරුෂ සංවර්ධනය ඉවහල් වන්නේ කුතුහලය,නායකත්වය,ඉවසීම, දරා ගැනීම හා  තැනට සුදුසු ලෙස හැඩ ගැසීමයි.ශ්‍රීලංකාවට වඩාත් ගැලපෙන සැමට එකඟ විය හැකි අධ්‍යාපන රාමුවක් සකස් කර ගැනීමේදී මෙම කාරන ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය.ප්‍රඥාව අධ්‍යාපනයේ අපේක්ෂාවක් විය යුතුය.මේ නිසා ප්‍රඥා සම්පන්න පුද්ගලයෙකු බිහි කිරීම පිණිස ඉවහල් වන්නාවූ ක්ෂේත්‍රයන් අධ්‍යාපන රාමුවට එක්විය යුතුය.සහකම්පනය,සහයෝගය,ගෞරව සම්පන්න බව,හික්මීම හා මානසික එකග්‍රතාව ප්‍රඥාව හා බැඳී පවතී.21 වන සියවසේ ගුරුවරයා තොරතුරු සොයා දෙන්නෙකුට වඩා මග පෙන්වන්නෙකු නිසා විෂයානු බද්ධ ඉගැන්වීම් වලදී සිසුන්ගේ සිතුවිලි අවබෝධ කර ගැනීම ඉතා වැදගත් කාරණයකි.අධ්‍යාපනය තුළින් සිසුන්ගේ කුසලතා වර්ධනය කළ යුතු අතරම ඔවුන්ගේ සිතුවිලි ධාරාවන් සුදුසු අවස්ථාවේ නිවැරදි දිශාව වෙත යොමු කිරීමද ගුරුවරයාගේ යුතුකමක් හා වගකීමකි.

ලිංගික හැසිරීම් මිනිස් සංහතියේ පැවැත්ම උදෙසා ස්වභාව ධර්මය විසින් සකස් කරන තිබෙන විශ්මිත ඉගැන්වීමකි.මෙම ඉගැන්වීම කුතුහලය පිරි උන්මාදයක් කරා යොමු කිරීම හෝ ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීමෙ අවස්ථාවක් කරගැනීම රඳා පවතින්නේ ඊට මඟ පෙන්වන්නේ අතය.කුතුහලය පිරි උන්මාදයක් බවට පත්වූ විට ශිෂ්‍යයා ලිංගික සන්තර්පනය පිණිස විවිධ ක්‍රම අත්හදා බැලීමට පෙළඹීම වලක්වා ලිය නොහැකිය.මේ හේතුව නිසාම ලිංගික අධ්‍යාපනය මඟ හැරීම හෝ අත් හැරීම ඵලදායි හෝ ප්‍රායෝගික නොවන්නේය.දරුවන් වෙත තොරතුරු ගලා ඒම වර්තමානයේදී  කිසිසේත්ම පාලනය කළ නොහැකිය.මේ නිසා ගුරුවරයාගේ කාර්යභාරය විය යුත්තේ  ලිංගිකත්වයට බද්ධවූ දැනුම වඩාත් ප්‍රායෝගික අයුරින් ජීවිතයට බද්ධ කරගන්නා දිශානතියකට දරුවන් යොමු කිරීමය.අර්ථව චක්‍රය උදාහරණයට ගත හැකිය.ගැබ් ගැනීමකින් තොරව සංසර්ගයේ යෙදීමට වඩාත් සුදුසු කාල වකවානුව තීරණය කර ගැනීම සම්බන්ධ ප්‍රශ්නයට විසඳුම මේ තුළ තිබේ.පාසැල් දරුවාට මේ බව කියා දීමට ආර්ථව චක්‍රය උපයෝගි කර නොගත යුතුය.ඊට ඔබ්බෙන් මේ සම්බන්ධව කතා කළ යුතු හා දැනුවත් විය යුතු බොහෝ කාරනා ඇත.එසේ වුවත් අප බොහෝ විට සිදු කරන්නේ ලිංගික අධ්‍යාපනයේදී ළමයාට අනවශ්‍යය දෙයක් කියා දීමට ගොස් සම්පූර්ණ වැඩපිළිවෙළම අත්හැර දැමීමය.ආර්ථව චක්‍රයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් අවබෝධයක් පවතින්නේ නම් අනවශ්‍යය ගැබ් ගැනීමක් වලක්වා ගැනීම පිණිස එම දැනුම භාවිත කිරීමට පුළුවන.හෝමෝන වෙනස් වීම් නිසා සිදුවන ශරීරයේ වෙනස් කම්,මල්වර වීම වැනි කාරනා දරුවෙකු පාසැල් කාලය තුළ අත්විඳින දේවල්ය.පාසැල් යන දියණියක් ගැබ් ගැනීම වැනි කාරනා අප සමාජය කිසිසේත් අනුමත නොකරන අතර එවැනි සිදුවීම් වාර්තා වන්නේද ඉතා කලාතුරකිනි.මේ නිසා ගැබ් ගැනීම් වලක්වා ගැනීමට ආර්ථව චක්‍රය භාවිත කරන්නේ කෙසේද,කොන්ඩමයක් භාවිත කරන්නේ කෙසේද යන කාරනා පාසැල් ළමුන්ට ඉගැන්වීමට යෑම එතරම් සුබදායක නොවන්නේය.අවාසනාවකට අප ලිංගික අධ්‍යාපනය ආරම්භ කරන්නේම මේ තැන්වලිනි.බරපතල ලෙස සමාජ විරෝධයක් මෙයට එල්ල වන්නේ මේ නිසා බව අප තේරුම් ගත යුතුව තිබේ.

ආර්ථව ක්‍රියාවලිය ජීවියාගේ පැවැත්ම හා ඍජුව සම්බන්ධය.දරුවෙකු මෙළොවට බිහි කිරීම පිණිස ගැහැණියක කරන කැපවීම අතිමහත්ය.මව්වරු,සොහොයුරියන් ආර්ථව කලාවලදී අත්විඳින අපහසුතා දෙස සහකම්පනයෙන් බලන්නට සමාජය පුරුදු පුහුණු කිරීම ඉතා වැදගත්ය.එය කළ හැක්කේ විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රියාවලියක් තුළිනි.තව දුරටත් මෙවා කුණුහරුප නොවන බව දරුවාට තේරුම් කරවීම ගුරුවරයාගේ වගකීමකි.සමලිංගික පුද්ගලයින් අප සමාජයේම කොටසකි.ඔවුන් කොන් නොකළ යුතු බව සැබෑවකි.එසේ කිරීම පිණිස සමලිංගික හැසිරීම් අසාමාන්‍යය තත්ත්වයක් නොවන බව හුවා දැක්වීමට උත්සහ කිරීම අනුමත කළ නොහැකි දෙයකි.මෙය සැබවින්ම අසාමාන්‍යය තත්ත්වයකි.එම අසාමාන්‍යය තත්ත්වය තේරුම් ගෙන ජීවත් වීමටත් ඔවුන් කොන් නොකිරීමටත් දරුවා මෙහෙයවනු මිස එය පිළිගැනීමට දරුවා අධ්‍යාපනය තුළින් යොමු කිරීම බරපතල වරදකි.පසුගිය කාලයේ එවැනි උත්සහයන් දක්නට ලැබිණි.කැමැති වුවත් අකමැති වුවත් අපි සංස්කෘතික රාමුවක් තුළ ගොනුවී සිටින්නෙමු.බටහිර රටවල් ඔවුන්ගේ සංස්කෘතියට අනුව හැඩ ගස්වා ගෙන තිබෙන දේවල් ඒ ආකාරයෙන්ම අපේ සංස්කෘතික රාමුව තුළට ගෙන ඒමට උත්සහ කිරීමේදී ජනතා විරෝධයක් මතුවීම පුරුමයට කරුණක් නොවන්නේය.

ලිංගික අධ්‍යාපනය නිසි වයසේදී අනිවර්යයෙන්ම ලබාදිය යුතු වටිනා දෙයකි.ලිංගික වෙනස් කම් දැනෙන,හැඟෙන,පෙනෙන කාලයේදී මේ අධ්‍යාපනය දරුවන්ට ලබාදීම වැදගත්ය.අම්මා හා තාත්තාගේ වෙනස,නංගීගේ හා මල්ලීගේ වෙනස,අම්මාගේ කුස තුළ සිටි නංගි බබා එළියට ආ හැටි දරුවෙකු කුතුහලයෙන් බලන දේවල්ය.මෙම ප්‍රශ්න කිසිසේත්ම මඟ හැරිය යුතු ඒවා නොවන්නේය.නිවැරදි ලෙස පහදා දීම මගින් දරුවා තුළ මෝරන කුතුහලය පහව යනු ඇත.කුතුහලය නැති දරුවන් ගවේෂකයින් නොවන්නේය.දරුවන්ගේ කුතුහලයට ගරු නොකරන හෝ එය පෝෂණය නොකරන අධ්‍යාපන ක්‍රමයක් ඵලදායි නොවන අතර කුතුහලය විසඳා ගැනීමට දරුවාට නියම ලෙස මඟ පෙන්වීම දෙමව්පියන්ගේ මෙන්ම ගරුවරුන්ගේද වගකීමය.ලිංගික අධ්‍යාපනය යනු හොර රහසේ නොව විවෘතව සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.කුතුහලයක් ඇතිවූ විට දරුවා කරනු ලබන්නේ එය නැති කර ගැනීම පිණිස පියවර ගැනීමය.දෙමව්පියන් හෝ ගුරවරුන් එය කතා නොකළ යුතු කාරනයක් ලෙස සලකන්නේ නම් දරුවන් කුතුහලය නැති කර ගැනීම සඳහා වෙනත් මාර්ග වලට පිවිසෙති.එහිදී නොමඟ යෑමට වැඩි ඉඩක් තිබේ.කුතුහලය නිසා ෆැන්ටසි වලට දරුවන් යොමුවන අවස්ථා තිබේ.අවසානයේ එය උන්මාදයක් දක්වා වර්ධනය වීමටද පුළුවන.මේවා නැගී සිටින්නේ ප්‍රඥාව යටපත් කරමිනි.මේ ඔස්සේ විවිධ අත්හදා බැලීම් වලට දරුවන් පෙළඹෙන අවස්ථා ඇත.විධිමත් ලිංගික අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීම තුළින් ලිංගිකත්වය සම්බන්ධව ඔවුන් තුළ වර්ධනය වන කුතුහලය තුරන් කළ හැකිය.මෙමඟින් ලිංගිකත්වය සොයා යාම පිණිස වැරදි මාර්ග ඔවුන් යොමුවීම වලක්වා ගැනීමට පුළුවන.දියුණු රටවල දරුවන්ට විධිමත් සහ විවෘත ලෙස කුඩා කාලයේ සිටම ලිංගිකත්වය පිළිබඳ පූර්ණ දැනුමක් ලබාදෙන මුත් අපේ රටේ එවැනි තත්ත්වයක් දක්නට නොමැත.විවෘත සංස්කෘතික පසුබිමක් සහිත රටවල නිවෙසේදී මව්පියන් විසින්ද දරුවන්ට එකී දැනුම් ලබාදෙන නමුත් අපේ රටේ මෙම කාරනා විවෘතව කතා කරන ස්වභාවයක් නොමැත.මිනිස් ශරීරය පිළිබඳවත් මිනිසා සහ ගැහැණිය අතර ඇතිවන කායික බැඳීම් සම්බන්ධවත් විවෘතව කතා කිරීම අශිලාචාරකමක් නොවන්නේය.අවිධිමත් ලෙමෛම කාරනා සොයා යෑමට දරුවන් පොළඹවා ඔවුන් අවදානම් සහගත තත්ත්වයකට පත්කරනු වෙනුවට විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් තුළින්  එය ඔවුන්ට ලබාදීම කාලෝචිත අවශ්‍යතාවකි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *