හන්තාන ගින්න ගැන පරීක්ෂණ

හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ පිහිටි අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ. බටහිර බෑවුම් ප්‍රදේශයේ පිහිටි අඩි 2500 ක උසකින් පිහිටි මෙම භූමිය ජෛව විවිධත්යෙන් යුත් ජල පෝෂකයක් බව හන්තාන සුරැකීමේ සංවිධානයේ ලේකම් අමිත් සේනානයක මහතා පවසයි.

අදාළ ස්ථානයේ නිරීක්ෂණය කිරීමට ගිය හන්තාන පාරිසරක කළමනාකරණ කමිටුවේ සභාපති,මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා වර්ෂ 2010 පෙබරවාරී 17 දින  ප්‍රකාශයට පත්කළ අංක 1641/28 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ නියමයන් හා කොන්දේසි උල්ලංඝණය කරමින් රජයට අයත් මෙම භූමි ප්‍රදේශයට කිසියම් පිරිසක් විසින් ගිනිතබා තිබෙන බවත් එම පරිසර විනාශය සිදුකළ පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කළේය. මෙම භූමිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට හෝ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් එකක් වුවද හන්තාන සංරක්ෂණ කලාපයේ ජල පෝෂක ප්‍රදේශයේ පිහිටි පාරිසරික වටිනාකමින් යුත් මෙම පතන් කැලෑ ප්‍රදේශයට ගිනි තැබීමටත් එහි ඉදිකිරීම් සිදු කිරීමටත් කිසිවකුට හෝ අවසර නොමැති බව හන්තාන සුරැකීමේ සංගමය පවසයි.

ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට උත්සහ කරන පිරිසක් මෙම භූමියට ගිනි තබන්නට ඇතැයි සැකකරන බවද අමිත් සේනානායක මහතා කීය. මෙම නිරීක්ෂණ චාරිකාවට මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න,මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් සම්පත් ජයරත්න යන මහත්වරු සමඟ  මහනුවර මූලස්ථාන පොලීසියේ නිලධාරීන්ද පිරිසක්ද සහභාගී වූහ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *