හෙළ නුවණින් වවාගෙන කෑම

ඉන්දු සයුරේ මුතු ඇටය හෙවත් පෙරදිග ධාන්‍යාගාරය අපගේ මාතෘ භූමියයි. පුරාතනයේ සහල් අපනයනය කළ ශ්‍රී ලංකාවට මෙවැනි විරුදාවලියක්  ලැබීම අරුමයක් නොවේ. මෙයින් ගම්‍ය වන්නේ එදා හෙළදිව කෘෂිකර්මයෙන් ස්වයංපෝෂිත රටක් බවයි.  අදටද දිවයින පුරාම විහිදුනු වාරී තාක්ෂණික නටබුන් අපට හෙළ මුතුන්මිත්තන්ගේ එම කෘෂි ශක්‍යතාව පිළිබිඹු කරවන්නේ  වරෙක විශ්මය ද වරෙක කුතුහලද හදට දනවමිනි.
කෘෂිකර්මාන්තයට ස්වභාවයෙන් ම ලද දායාද ගොන්නක් ම උරුම ශ්‍රී ලංකාව ලොව කෘෂිකර්මාන්තයට යෝග්‍යම රට ලෙසට නම් කළද වරදක් නොමැති තරම් ය.  වසර පුරාම නොඅඩුව ලැබෙන සූර්යාලෝකය, අනිවාය–  මෝසම් වැසි සහ අන්තර් මෝසම් වැසි, රට මැද පිහිටි සරු කඳුකරය, මුහුදේ සිට ඇති අවම දුර, රට පුරා විහිදුනු විවිධ දේශගුණික කලාප, සරු පස, කෘෂිකර්මාන්තයට සුදුසුම උෂ්ණත්වය,  රට පුරා විහිදුනු දිය නොසිඳෙන ගංගාවන් වැනි ලොව අන් කිසිදු රටකට නොලද ස්වභාවික සම්පත් ලක්මවට උරුමය.

සහලින් ස්වයංපෝෂිත දේශය යළි උදා කළ නොහැකිද?

යටත්විජිත කාලය දක්වාම මේ රට මෙතරම් ස්වයංපෝශිතව පැවතීමත්,  අද වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වීමත් ස්වාභාවිකව සිදු නොවුනු දෙයකි. මේ ව්‍යසනය සිදු කළ අයට දොස් පවරනවාට වඩා අපගේ යට ගිය උරුමය නැවත සොයා යාමට කාලය එළැඹ ඇත. ‘වංශය කබල් ගෑම‘ වෙනුවට අප කළ යුත්තේ සිඳී යන එම ඥානය යලි සොයාගෙන  අද කාලයට ඔබින අන්දමින් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවේ යෙදවීමය.

එකල ජ්‍යොතිෂ්‍යය අද මෙන් ජනයා රවටා වවාගෙන කෑමේ ශාස්ත්‍රයක් නොවී  ඉහළ මට්ටමක පැවතුන අතර  පිට රැටියන් පවා මවිතයට පත් කළ ‘අත්දුටු සත්‍ය‘ ගණිත ක‍්‍රමයක්ව තිබුණි.  එහි විද්‍යාත්මකව ඔප්පු කළ සහ නොකළ  අංග ඇත.  සාම්ප‍්‍රදායික කෘෂිකර්මය ජ්‍යොතිෂ්‍යද ප‍්‍රායෝගිකව ප‍්‍රයෝජනයට ගෙන ඉතා ඉහළ ඵල නෙළා ගත් කර්මාන්තයකි. කෘෂිකර්මාන්තය දෑතේ සවිය ඇති  ඕනෑම අයෙකුට කළ හැක්කකි. නමුත් සැමටම සාර්ථකව අවසන් කළ හැකි විෂයයක් නොවේ. එසේ වන්නේ ගොවිතැන සාර්ථක කර ගැනීමට තමුන් ට පාලනය කළ නොහැකි නිර්නායක සමූහයක්ද බලපාන නිසාවෙනි. අපට උරුම වූ කෘෂි විද්‍යාව දෑතේ සවියෙන් බොහෝ ඔබ්බට ගිය විෂයයකි. සාම්ප‍්‍රදායික කෘෂිකර්මයේ  අඩුම ශ‍්‍රමයකින් හානි නොවී වැඩිම ඵලදාවක් පරිසර හිතකාමීව සෞඛ්‍ය සම්පන්නව ලබා ගන්නේ කෙසේද යන්න මනාව විග‍්‍රහ වේ.   පැරැණියන්ට මේවා විද්‍යාත්මකව ඔප්පු කිරීමක් අවශ්‍ය නොවූයේ ඔවුන් ගේ අත්දැකීමෙන් මෙම පාරම්පරික ඥනය ප‍්‍රත්‍යක්ෂව භාවිතා කළ නිසාමය.

ජ්‍යොතිෂ්‍යය, වවාගෙන කන්නන්ගෙන් මුදා ගත යුතුය.

ස්වභාවික පරිසරයේ ශාඛ රෝපනයක් නැත. ඒවා සොබාදම් න්‍යායට අනුව නිසි කාලවල බීජ හට ගෙන ස්වභාවිකවම පැළ වී ඵල හට ගනී. ශ්‍රී ලංකාවේ ඇත්තේ ස්වභාවිකව හට ගත් වනාන්තර මිස කිසිවකු විසින් රෝපනය කළ ඒවා නොවේ. එහිදී විවිධ පාරිසරික සාධකවලට අනුකූලව ශාඛ ස්වභාවයෙන් ම හැඩ ගැසී ඇත. මෙම සොබාදම් න්‍යාය තේරුම් ගත් පැරැන්නෝ බහුවිධ පරිසර සාධක වලට තමුන් ගේ කර්මාන්ත ගොඩනගා ඒවාට පඬිවරුන් ගේ විද්‍යා ගණිත ඥනය මුසු කර උපරිම ඵල නෙළා ගත්හ.

නමුත් අද වන විට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් ව ඇත. එදා සොබාදහමට අනුකූලව ගොවිතැන් කළ හෙළ ගොවියා අද ටොන් ගණනින් තම භෝග වලට කෘත්‍රිම රසායන යොදති. එයින් ඔවුන් මෙන්ම රටක් අඳුරේ හෙලමින් කරනා මෙම ජාතික ව්‍යසනය නැවැත්වීම කොහෙන් හෝ ආරම්භ කළ යුතුය. නමුත් එය එක් රැයකින් කළ හැකි දෙයක් නොවේ. මේ වන විට ඥාන පරම්පරා ගණනක මෙම සොබාදම් විරෝධී  කෘත්‍රීම රසායන කෘෂිකර්මයෙහි, බීජ අංකුර සෑම තැනකම ඉතා සූක්ෂම අන්දමින් ව්‍යාප්තව ඇත. බොහෝ ගොවියන් එයින් එහා ගිය ගොවිතැනක් දන්නේ නැත. අවශ්‍ය වන්නේ ඔවුනට ගොවිතැන ඉගැන්වීම නොවේ. ඔවුන් ගේ දැනුම නිවැරදි කිරීමය. පාරම්පරික කෘෂිකර්මය පිළිබඳ දැනුම දියුණු කර විශ්වාසය ගොඩ නගා යාවත්කාලීන කිරීමය.

කෘත්‍රිම රසායන දැන භාවිතය යහපත්.

මෙම ලිපි මාලාව ගොවිතැන පිළිබඳ සරළ දැනුම, වස විෂෙන් තොර ගොවිතැන් කරනා ආකාර/විධි, අපෙන් මඟ හැරුණු කෙම් පහන් විධි, අපට  වැරදුනු තැන්, ආදී විවිධ අනු විෂයයන් ඔස්සේ ඉදිරිපත් වේ

මහේන් සූරි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *