ෆේස්බුක් පෙම්වතා ගසක් උඩදී දැරියක් අපයෝජනය කරයි.

ලුණුගම්වෙහෙර එකමුතුගම පදිංචි බාලවයස්කාර දැරියක නීත්‍යානුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් දුෂණය කළ අම්බලන්තොට පදිංචි තරුණයෙකු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු කාංචනමාලී සුසන්තා ගුණසේකර මහත්මිය 10 දින නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ අම්බලන්තොට, රුහුණු රිදියගම, බෝලානේ  පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

ලුණුගම්වෙහෙර විද්‍යාලයේ 09 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිය දියණිය පසුගිය 08 දින සිට නිවසින් අතුරුදහන් වි ඇති බවට දැරියගේ පියා  ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ලුණුගම්වෙහෙර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂ එල්.ජී.නිමල් මහතා හා පොලිස් විශේෂ කාර්යංශයේ නිළධෘරීන් එක්ව සිදුකල විමර්ෂණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු හා බාලවයස්කාරියගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වි ඇත්තේ සැකකරු හා බාලවයස්කාරිය අතර ෆේස්බුක් හරහා වසර එක හමාරක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි. මේ පිළිබඳව දැනගත් ඇගේ සහෝදරයා තරවටු කිරීම නිසා දැරිය කළ ඉල්ලීම අනුව සැකකරු පසුගිය 07 වන දින රාත්‍රි ගම්පහ සිට බස් රථයකින් අම්බලන්තොට පිහිටි ඔහුගේ නිවසට පැමිණ පසුදින උදෑසන බස් රථයක නැගී ලුණුගම්වෙහෙර පිහිටි දැරියගේ නිවස අසලට ගොස් තිබේ. එම අවස්ථාවේදී දැරිය පැන් දෙකක් රැගෙන ඒමට කඩේට යන බව පවසා නිවසින් එළියටවිත් සැකකරු සමග පළාගොස් තිබේ.

සැකකරු පිළිබදව දුරකතන ඇමතුම් වාර්තා හරහා සිදුකල විමර්ෂණයකට අනුව සැකකරු අම්බලන්තොට බෝලාන ප්‍රදේශයේ පිහිටි වගාබිමක ගසක් උඩ ඉදිකර තිබූ පැලක සිටියදී 10 දින අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී මහේස්ත්‍රාත් වරිය සැකකරු මේ මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර බාලවස්කාර දැරිය හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *