P2P සේලයින් සහ දෙමළ දේශපාලනය

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

දශක තුනක යුද්ධයෙන් මියගියේද පිඩා වින්දේද ආබාධිත වුයේද සිරගත වුයේද සිංහල හෝ දෙමල හෝ මුස්ලිම් හෝ යන ජන වර්ග වලට බෙදුණු මිනිසුන් නොව මෙරට ආර්ථිකය නැංවිය හැකි මෙරට සංස්කෘතින්ට ආදරය කල ශ්‍රී ලාංකිකයන් බව තවමත් අපට තේරුම් ගැනිමට නොහැකිව තිබිම කණගාටුවට කරුණක් බව පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා දින පහක් පුරා අඛණ්ඩවම ගමන් කල විරෝධතා පාගමන දෙස බැලුවිට පෙනෙන කරුණකි.

කුමන හෝ කරුණක් මත උතුර මෙන්ම දකුණද කලකට පෙර ඇවිලි ගියෝය. දෙකොන ගිනිගත් විලක්කුවක් සේ ඇවිලි ගිය රටෙහි දෙපැත්තෙහිම සිට සටන් කලේ අසහනයෙන් පෙළුණ තරුණයෝය.

ඒ එවකට පැවැති පාලක ආණ්ඩුවට හා එහි ආරක්ෂක හමුදාවන්ට එරෙහිව බව සියල්ලෝම දන්නා පොදු කරුණය. දකුණේ අරගලය යකඩින් හා ගින්නෙන් මැඩලුවද උතුරේ අරගලය එසේ අවසන් කිරිමට ආණ්ඩු කිහිපයකටම දශක තුනක්ම ගියේය. දැන් එය අවසන්ව ගොස් තිබේ. එහෙත් ගැටලුවට විසදුම් ලැබි තිබේදැයි ප්‍රශ්ණ සහගතය.

තිස් වසරක් පුරා නිසි ප්‍රතිකාරයක් නොමැතිව ජාතිවාදයේ හා බෙදුම්වාදයේ විෂ එකතුවි කුණුවි ඔජස් ගලමින් තිබු තුවාලය සුවවි වසර 10 ක් ගියද එහි කැළල මැකි නොගියේය. බිදුණු හදවත් මෙන්ම රිදුණු හදවත් සුවපත් කෙරුමට ආණ්ඩු දෙකකටම අවස්ථාව ලැබුණද ඔවුන් ඒ වෙනුවෙන් සිය වගවිම වගකිමෙන් පෙන්වා නොසිටියේය.

ගැටලුවට විසදුම් නොදි ගැටලුව අවසන් කල නොහැකි බව ඉකුත් තුන්වැනිදා අම්පාර පොතුවිල් ප්‍රදේශයෙන් ආරම්භ කොට දහස් ගණනකගේ ජන සහභාගිත්වයෙන් යාපනය පොලිකණ්ඩි ප්‍රදේශයෙන් අවසන් වු පී ටු පී ‍විරෝධතා පා ගමන අපට පසක් කරන්නේය.

උතුරු නැගෙනහිර පලාත්වල දෙමල ජනයාගේ ඉඩම් රජයේ ආයතන යොදා ගනිමින් ආක්‍රමණය කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, එම පලාත් වල හින්දු ආගමික ස්ථානව වලට බලපෑම් සිදු කිරිම, අතුරුදන්වුවන්ගේ ගැටලු වලට විසදුම් ලබා ගැනිම යුද්ධයේදි සිදුවු බව කියන යුධ අපරාධ පිළිබදව විමර්ශණය කිරිම හා වගවිම වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රුපියල් 1000 ක් වැඩි කිරිම, කොරෝනා වයිරසයෙන් මියයන මෙරට මුස්ලිම් ජනයාගේ දේහයන් ආදාහනයට විරෝධය පල කිරිම යන කරුණු රැසක් මෙම විරෝධතාවයට මුල් කර ගෙන තිබුණි.  එකි විරෝධතා සටන් පාඨ දෙස බැලු බැල්මට එය පුළුල් දේශපාලන ප්‍රවේශයක් සහිත එකක් බව පෙනි යන්නකි. විරෝධතාවය ආරම්භයේදිම දේශපාලන මුහුණුවරක් ගෙන තිබු හෙයින්ද ඊට මුස්ලිම් දේශපාලන පක්ෂ සිය සහය ලබා දෙන බව පැවැසීමෙන්ද මෙම විරෝධතා පා ගමන දැවැන්ත ජන ප්‍රවාහයකින් අවසන් වන්නක් බව මුල සිටම පෙනි ගියේය.

ඒ ඔවුන් සිය වේදනාව සටන් පාඨ කිහිපයක් හරහා ආණ්ඩුවට පෙන්වමින් උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක අට පුරාවටම විවිධ බාධක මැද ගමන් කල හෙයිනි. ඊට නැගෙනහිර පලාතේ සිවිල් සංවිධාන කිහිපයක් මෙන්ම කතෝලික පුජකවරුන්, හින්දු හා ඉස්ලාම් මවුලවි වරුන්ද එක්ව සිටියෝය.පොතුවිල් ප්‍රදේශයෙන් පා ගමන ආරම්භ කල මොහොතේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යා රාසපුත්‍රම් මුළු පා ගමන පුරාවටම ප්‍රබල චරිතයක්ව සිටියේය.

ආරක්ෂක අංශ විරෝධතා පා ගමනට හා එය සංවිධානය කල පිරිසට එරෙහිව ඒ ඒ අධිකරණ බල ප්‍රදේශ වලට අදාලව අධිකරණ නියෝග ලබා ගත්තේය. ඇතැම් තැනක එකි අධිකරණ නියෝග මාධ්‍යවේදින්ටද එරෙහිව ලබා ගෙන තිබුණි. පා ගමන මහ වැසි මැද ආරම්භ කල අතර මහ වැසි නොතකා පාර්ලිමේන්තු මන්ත්‍රී රාසපුත්‍රම් මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයෝ පළමු දින මඩකලපුවට ඇතුළු වුයේ යොදවා තිබු ආරක්ෂක බැරියර් නොතකා ඒවා තල්ලු කර දමමිනි. විරෝධය එන්නෙ එතැනිනි. අධිකරණ නියෝගයන් ගෙන ආ පොලිසිය පා ගමන අවහිර කරමින් එය හඩ නගා කියා සිටියදි විරෝධතා කරුවෝ එය නොතකා අඛණ්ඩවම ගමනේ යෙදුණාහ. අඩ්ඩාලච්චේනේදි සහ කින්නියාවේදි මුස්ලිම් ජනයාත් ත්‍රිකුණාමලය මරතඩියේදි සිංහල තරුණයන් කිහිප දෙනෙකුත් මෙම විරෝධතාවයට සහය පළ කරමින් පා ගමනට එක්ව සිටියෝය.

ආණ්ඩුවට එරෙහිව සිවිල් ක්‍රියාකාරින් ඇරඹි විරෝධතාවය ත්‍රිකුණාමලයට ඇතුළු විමට පෙර යාපනයේ සිට සුමන්තිරන් මන්ත්‍රීවරයා මඩකලපුවට පැමිණ ඊට එක්වුයේ සමාජ මාධ්‍ය ජාල හරහා ශානක්‍යා රාසපුත්‍රම්ට ලැබෙමින් තිබු ප්‍රතිචාරය සැලකිල්ලට ගෙන බව පෙනි යන්නකි. ආරම්භයේ සිටම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා ඔහුගේ පක්ෂයේ සංවිධායකවරුන් හා ක්‍රියාකාරින්ද පා ගමනට එක්ව සිටියෝය.

පසුදා ත්‍රිකුණාමලයෙන් ඇරඹි විරෝධතාවයට උතුරු පලාත් සභාවේ හිටපු මන්ත්‍රී ශිවාජිලිංගම්ද දෙමල ජාතික සංධාන නායක ආර්. සම්බන්ධන්ද එක්වුයේය. ශිවාජිලිංගම් යාපනයේ සිට රාත්‍රියේම ත්‍රිකුණාමලයට පැමිණ තිබු අතර කුපිතවු සිංහල තරුණයන් පිරිසක් මරතඩිය වටරවුම අසලදි පරුෂ වචනයෙන් බැණ වදිමින් දැක්වු විරෝධයට ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාද හසුවුයේය. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කලේ සිංහල තරුණයන් පහර දුන්බව කියමිනි. ඔහු ඉන් යම් ජනප්‍රියතාවක් අත්පත් කර ගත්තේය. අනතුරුව උතුරු වෙරළ පාර හරහා මුලතිව් දෙසින් උතුරට ඇතුළු වු විරෝධතා පාගමනට තමිල් අරසු කච්චි නායක මාවෙයි ‍සේනාධිරාජා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප පොලක්ම එක්ව සිටියෝය. කිලිනොච්චියට පා ගමන පැමිණෙන විට පොලිකණ්ඩියේදි එක්වු උතුරු පලාත් මහ ඇමතිවරයා හැර සෙසු සියලු දෙමල හා මුස්ලිම් මන්ත්‍රීවරුන් ඒ ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණ ඒ ඒ දිස්ත්‍රික්ක වලදි පා ගමනට එක්වුයේය. ඉන් පෙනි යන්නේ දෙමල ජනතාව නව නායකත්වයක් කරා ගමන් කරමින් සිටින බවය.

සිංහල බෞද්ධ නායකත්වය යන පාඨයට පක්ෂව හා එරෙහිව උතුරේ මෙන්ම දකුණේද සියලු දේශපාලන පක්ෂ සිර වෙද්දි උතුරේ දෙමල ජනයාගේ සැබෑ ප්‍රශ්ණය අමතකව ගොස් තිබු බව මෙම පාගමන උතුරේ මෙන්ම දකුණේද සියල්ලන්ටම පසක් කලෝය. ශානක්‍යා පාර්ලිමේන්තුවේදි භාෂා තු‍නෙන්ම කල කතාවත් පා ගමනේදි දකුණට යොදා නොගත් එහෙත් උතුරට යොදාගත් සෞඛ්‍ය උපමාන හා ආරක්ෂක අංශ වල විරෝධතා නොතකා අඛණ්වම ගමන් කිරිමත් තුල බිම් මට්ටමේ දෙමල ජනයා තුල ශානක්‍යා විරයෙක් වි සිටින්නේය.

ආණ්ඩුව දෙමල ජනයාගේ ගැටලුවට විසදුම් නොදිමේ හා එය ලබා ගැනිමට දෙමල මහජන නියෝජිතයන් උත්සාහ නොකිරිමේ ප්‍රතිඵලයත් දෙමල මහජන නියෝජිතයන් එය මෙතෙක් කලක් නොසලකා හැර සිටිමත් තුල බිමේ දෙමල ජනයා තුල හටගෙන ඇති විරෝධය පීටුපි විරෝධතා පාගමන තුල මනාව කැපි පෙනුනේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *